CIDයට එන්න කියු හේමසිරි සහ පුජිත් රෝහල් ගත වෙයි

17

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දුන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්යය නිවාඩු යවා සිටින පොලිස්පති පුජිත ජයසුන්දර යන මහත්වරුන් රෝහල් ගත වී තිබෙනවා.

හදිසි හෘදයා බාධයක් හේතුවෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් පොලිස්පති පුජිත ජයසුන්දර මහතා නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහුගේ සෞඛ්‍ය තත්වය මේ වන විට පරික්ෂා කරමින් සිටින බව සදහන්.

පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණා.

ඒ අනුව තමන්ට රහස් පොලිසිය වෙත පැමිණිම සදහා වෙනත් දිනයක් ලබා දෙන ලෙසයි හිටපු ආරක්ෂක ලේකම්වරයා ඉල්ලීමක් කර ඇත්තේ.

ඒ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරවලින් සිදුවූ මනුෂ්‍ය ඝාතන හා ප්‍රබල දේපල හානී සම්බන්ධයෙන් අදාළ තැනැත්තන් දෙදෙනාට සාපරාදී වගකීමක් ඇති බවට විමර්ශනවලින් අනාවරණය වීම හේතුවෙන්.

ඒ අනුව ඔවුන් සැකකරුවන් වශයෙන් නම් කර අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට පසුගිය බ්‍රහස්පතින්දා දැනුම් දී තිබු බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතීඥ නිෂාරා ජයරත්න මෙනවිය සදහන් කළේ.

ඊයේ දිනය වන තෙක් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් නීතිපතිවරයා විසින් කරුණු විමසීම සදහා යළිත් වැඩබලන පොලිස්පතිවරයා වෙත ඊයේ යළි ලිපියක් යොමුකර තිබුණා.

එමගින් දක්වා තිබුණේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදනවලට අනුව ඔවුන්ගෙන් ප්‍රකාශ වාර්තා කර සැකකරුවන් ලෙස නම් කර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර කරුණු වාර්තා කරන ලෙසයි.

Your Comments