හදිසි අනතුරු නිසා ජීවිත 5ක් අහිමි වෙයි

15

ගෙවී ගිය පැය 24ක කාලය තුළදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී සිදු වූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් පස් දෙනෙකු මියගොස් තවත් එක් අයෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා.

පොලිසිය කියා සිටියේ ඊයේ රාත්‍රී 10.15ට පමණ කොළඹ – නුවර මාර්ගයේ යක්කල ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් යතුරු පැදිකරුවෙකු මියගොස් ඇති බවයි.

පොලිසිය කියා සිටියේ මහනුවර දෙසට ධාවනය වූ යතුරු පැදියක් යක්කල ප්‍රදේශයේදී ලිස්සා ගොස් මාර්ගයේ මැද දූපතේ ගැටී පැදිකරු කොළඹ දෙසට ධාවනය වූ මෝටර් රථයක ගැටී අනතුර සිදුව ඇති බවයි. අනතුරෙන් තුවාල ලැබූ පැදිකරු ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 41ක් පමණ වූ කෙසෙල්වතුගොඩ, යක්කල ලිපිනයේ පදිංචිකරුවෙකි. මෘතදේහය ගම්පහ රෝහලේ තබා ඇති අතර අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යක්කල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

මේ අතර කුරුණෑගල මහනුවර මාර්ගයේ මිල්ලව ප්‍රදේශයේ මාර්ගයේ ගමන් කළ පුද්ගලයකු මහනුවර දෙසට ධාවනය වූ හඳුනා නොගත් වාහනයකින් හප්පා පළා ගොස් ඇති බව පොලිසිය පවසනවා. ඊයේ (21) රාත්‍රී 7.55ට පමණ මෙම අනතුර සිදුව ඇති බවත් අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවත් පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.

කුරුණෑගල මිල්ලව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයකු මරණයට පත්ව ඇති අතර මෘත දේහය කුරුණෑගල රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

අනතුර සිදු කළ රියදුරු අත්අඩංගුවට ගැනීම සඳහා කුරුණෑගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

හබරණ දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයේ පෙරලී යාමෙන් අනතුරක් සිදුව ඇති අතර ඉන් බරපතල තුවාල ලැබූ පිටපසු ගමන් කළ පුද්ගලයකු හබරණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඊයේ(21) රාත්‍රී 7ට පමණ හබරණ – ත්‍රිකුණාමලය මාර්ගයේ පරගස්වැව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරෙන් 27 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇති බවත් මෘත දේහය හබරණ රෝහලේ තබා ඇති බවත් පොලිසිය පවසනවා.

අනතුර සම්බන්ධයෙන් ත්‍රිරෝද රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර හබරණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

මේ අතර හම්බන්තොට ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින්ද පුද්ගලයකු මරණයට පත්ව තිබෙනවා.

පොලිසිය කියා සිටියේ හම්බන්තොට අම්බලන්තොට මාර්ගයේ තෙල් පිරිපහදුව ආසන්නයේදී අම්බලන්තොට දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගයේ පාපැදියක් තල්ලු කරමින් ගමන් කරමින් සිටි පා පැදිකරුවෙකුගේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.

අනතුරෙන් බරපතල තුවාල ලැබූ පාපැදිකරු හම්බන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මරණයට පත්ව තිබෙනවා.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 58 ක් වූ චිත්‍රගල අම්බලන්තොට ලිපිනයේ පදිංචිකරුවෙකි.

මෘත දේහය හම්බන්තොට රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර හම්බන්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

හබරාදූව, බොනවිස්ටාව රූමස්සල අතුරු මාර්ගයේ බොවිස්ටාව පාසල අසලදී රූමස්සල දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් බරපතල තුවාල ලැබූ රියදුරු සහ පසුපස ගමන් කළ කාන්තාව කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව කාන්තාව මියගොස් තිබෙනවා.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 53ක් වූ හල්ලල වැලිගම ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි පොලිසිය පවසන්නේ.

අනතුර සම්බන්ධයෙන් හබරාදූව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Your Comments