සුවය ලබා නිවසට ගිය කතකට යළි කොරෝනා වැළදෙයි

29

කෝවිඞ් 19 වෛරසය ආසාදනය වී කුවේට් සිට මෙරටට පැමිණ හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට සුවය ලැබූ කාන්තාවකට නැවතත් කෙරෝනා වෛරසය වැළඳී තිබෙනවා.
අනුරාධපුර කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි කාන්තාවකටයි මෙලෙස නැවතත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය දුලාන් සමරවීර මහතා කියා සිටියේ ඊයේ දිනයේදී සිදුකළ පී සී ආර් පරීක්ෂණයට අනුව අදාළ කාන්තාවගේ ශරීරයේ කොරෝනා වෛරසය ඇති බවට තහවුරු වූ බවයි.
අදාළ කාන්තාව මීට දින දෙකකට පෙර හෝමාගම ශික්ෂණ රෝහලෙන් ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව කැබිතිගොල්ලෑවේ පිහිටි නිවස වෙත පැමිණ තිබෙනවා.
යළිත් ඇය අසනීප වීම හේතුවෙන් පෙරේදා දිනයේ අනුරාධපුර රෝහලට ඇතුළත් කෙරුණු ඇය වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ අයි ඩී එච් රෝහලට යොමු කල බවයි වෛද්‍ය දුලාන් සමරවීර මහතා කියා සිටියේ
කොරෝනා වෛරසයෙන් සුවය ලැබූ බවට තහවුරු වී හෝමාගම රෝහලෙන් පිටව යාමෙන් එක් දිනයකට පසු ඇයට නැවතත් රෝග ලක්ෂණ මතුවීම විශේෂත්වයක්.
කෙසේ වෙතත් ඇයගෙන් වෙනත් පුද්ගලයින්ට වෛරසය ආසාධනය වීම අවම බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පැවසුවේ.
මේ අතර කොරෝනා වෛරසය ආසාධනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයන් 28 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබෙනවා.
ඒ කොරෝනා වෙරසය ශරීර තුළ නොමැති බවට පීසීආර් පරීක්ෂණ මඟින් තහවුරු කර ගැනීමෙන් අනතුරුවයි.
ඒ අනුව සුවය ලැබු සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන 740 ක් දක්වා ඉහළ යනු ඇති
මෙම නාවික පුද්ගලයින් සියලු දෙනාම කොවිඞ් 19 වෛරසය ආසාධනය වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යොමු කර සිටි අයයි.
මෙම සියලුම නාවික හමුදා සාමාජිකයින් රෝහල් වෙතින් පිටත්ව ගියද සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කෙරෙනු ඇති.
මේ අතර ත්‍රිවිධ හමුදා නිරෝධායනය නිමවා අද නිවෙස් බලා පිටත්ව යාමට නියමිත සංඛ්‍යාව 179 ක්.
බි්‍රගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා කියාසිටියේ මේ වනවිට පුද්ගලයන් 14 097 දෙනෙකු ත්‍රිවිධ හමුදා නිරෝධායනය අවසන් කර පිටත්ව ගොස් ඇති බවයි.
මධ්‍යස්ථාන 44 ක පුද්ගලයන් 4297 දෙනෙකු තවමත් නිරෝධායනය වෙමින් සිටිනවා.

Your Comments