සුලි කුණාටුවෙන් වැඩි බලපෑමක් එල්ල විය හැකි ප්‍රදේශ වල ජනතාව වෙනුවෙන් ආපදා සහන මධ්‍යස්ථාන

57

බෙංගාල බොක්ක ප්‍රදේශයේ වර්ධනය වී ඇති බුරවි සුලි කුණාටුවෙන් වැඩි බලපෑමක් එල්ල විය හැකි ප්‍රදේශ වල ජනතාව වෙනුවෙන් ආපදා සහන මධ්‍යස්ථාන ස්ථාපිත කර තිබෙනවා.

ත්‍රිකුණාමල ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ආපදා සහන මධ්‍යස්ථාන 236 ක් ස්ථාපිත කර ඇති බවයි දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ.

ඇතිවිය හැකි සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවල ජිවත් වන ජනතාව සඳහා තාවකාලිකව රැඳවුම් ස්ථාන සුදානම් කර ඇති බවයි සිත නිවුස් 24 විමසීමකදී යාපනය දිස්ත්‍රික් ලේකම් කේ.හේමසන් මහතා සඳහන් කළේ.

මෙම සුළි කුණාටුවේ බලපෑම සමග මේ වනවිට දිවයිනේ ප්‍රදේශ රැසක වැසි සහිත කාලගුණික තත්ත්වයක් පවතින බවයි වාර්තා වුණේ.

මේ අතර, ඇති වන ඕනෑම ආපදා තත්ත්වයකදී මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා හෙලිකොප්ටර් යානා සමග සහන සේවා කණ්ඩායම් සුදානම් කර ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව ප්‍රකාශ කළා.
ආපදා තත්ත්වයන් පිළිබද දැනුම්දීම සඳහා 117 විශේෂ දුරකථන අංකය පැය 24 පුරා ක්‍රියාත්මකයි.

සියලුම ආපදා සහන කණ්ඩායම් මේ වනවිට සූදානම් කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ.

සුළි කුණාටු තත්ත්වයත් සමඟ ඇතිවිය හැකි ආපදා තත්ත්වයට මුහුණදීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ඒ ඒ දිස්ත්‍රික්කයන්හි ලේකම්වරුන්ට රුපියල් බිලියනයක මුදලක් රජය මේ වනවිට වෙන් කර තිබෙනවා.

සුළි කුණාටු අවදානමට මුහුණදීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ වැඩපිලිවෙලක් ද ක්‍රියාත්මක යි.

මේ අතර නැගෙනහිර පළාතේ සියලු පාසල්ද අද සිට අනිද්දා දක්වා වසා තැබෙන අතර උතුරු පළාතේ සියලු පාසල් ද අද සිට දින දෙකක් වසා තැබෙනු ඇති.

බෙංගාල බොක්කේ වර්ධනය වූ බුරවී සුළි කුණාටුව අද පස්වරු 7 ත් 10 ත් අතර දිවයිනට ඇතුළුවේයැයි අපේක්ෂිතයි.

මේ වනවිට කුණාටුව ත්‍රිකුණාමලයට කිලෝමීටර් 200 ක් ඈතින් ස්ථාන ගත වී ඇති අතර එය පස්වරු 5.30 වනවිට කිලෝමීටර් 30 ක් පමණ ආසන්නයට පැමිණෙනු ඇති.

එය ත්‍රිකුණාමලය සහ පේදුරු තුඩුව අතරින් මුලතිව් වලට ආසන්නයේ ශ්‍රී ලංකාවේ ඊසාන දිග වෙරළින් දිවයිනට ඇතුළුවේයැයි අපේක්ෂිතයි.

එම පද්ධතිය ක්‍රමයෙන් බටහිර දෙසට ගමන් කර හෙට උදෑසන වනවිට මන්නාරම් බොක්ක වෙත පැමිණෙනු ඇති බව කාර්යේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ සදහන් කළා.

බුරවි සුලි කුණාටුව පිළිබද දැනුවත් කිරීමේ ඒකාබද්ධ මාධ්‍ය වැඩසටහන අද පස්වරු 3 සිට සිත එෆ්.එම්. ඔස්සේ බලාපොරොත්තු වන්න.

Your Comments