සුදු ඉරේදී ළමයකු අනතුරට ලක් කළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට
පාලිත ආරියවංශ - බදුල්ල

17

බදුල්ල  නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය අසළ  සුදු ඉරේදී 12 හැවිරිදි  ළමයෙක් යතුරුපැදි අනතුරකට ලක්කර පළාගිය පොලිස් සැරයන්වරයා විනාඩි 10ක කාලයක් තුළදී අත්අඩංගුවට ගත් බව  බදුල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති අසංග  කරවිට මහතා පවසනවා.

බදුල්ල කොට්ඨාශ  රථවාහන අංශයට අනුයුක්තව සේවය කළ අදාළ පොලිස් සැරයන්වරයා නිවාඩු ලබාසිටි අතර  සිවිල් ඇඳුමින් සැරසී සිටියදී ඊයේ (15) සවස මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරත් සමග ඔහු දිවයන්නට පටන්ගෙන ඇති බවත් එම ස්ථානයේ සිටි පිරිසක්  ඔහු පිටුපස ලුහුබැද අල්ලා ගැනීමට උත්සාහ කර ඇති බවත් විමර්ශනවලදී අනාවරණ වූ බවයි පොලිසිය කියා සිටියේ.

ඔවුන්ගෙන් බේරීම සඳහා නොනැවතී  දිවගිය පොලිස් නිලධාරියා පොලිසියේ පිටුපස දොරටුවෙන් ඇතුල්වී  එසැණින් ඉදිරි දොරටුවෙන්  පිටවී පළාගොස් ඇති බවද විමර්ශනවලදී අනාවරණ වූ බව පොලිසිය වැඩිදුරටත් පවසනවා.

සිද්ධිය සැලවීමත් සමග අනතුර සිදුකළ පොලිස් නිලධාරියා වහාම අත්අඩංගුවට ගෙන නීතිය උපරිම ලෙසින් ක්‍රියාත්මක කරන ලෙස බදුල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පතිවරයා බදුල්ල පොලිසියට නියෝගය කර තිබෙනවා.

ඒ අනුව බදුල්ල පොලිසියේ රථවාහන අංශයේ බදුල්ල කොට්ඨාශ රථවාහන අංශයේ නිලධාරින් විසින් කරන ලද ක්ෂණික මෙහෙයුමකදී අනතුර සිදුකළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු එදිනම බදුල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කළ බවත්  මධ්‍යසාර පාවිච්චි කර ඇති බවට වෛද්‍ය වාර්තාවෙන් හෙළිවී ඇති බවත් බදුල්ල පොලිසිය පවසනවා.

අනතුරට පත්වූ දැරිය සුළු තුවාල ලබා බදුල්ල  මහරෝහලට ඇතුලත් කර ඇති බවයි සිත නිව්ස්24 වාර්තාකරු කියා සිටියේ.

පසුගියදා   බසයක් මතට ගසක් කඩාවැටීමේ සිද්ධියකින්  තරුණ දරුවෙක් ජීවිතක්ෂයට පත්වීම සහ බිරිඳ පිළිකා රෝගයෙන් පෙළීම  යනාදී කරුනු හේතුවෙන් අදාළ පොලිස් නිලධාරියා මානසික පීඩාවට පත්ව සිටි අයෙක් බවද පොලිසිය පවසනවා.

බීමත්ව රිය පැදවීම සහ අනතුරක් සිදුකර පළායාම යන චෝදනා යටතේ සැකකරු  බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට අද  (16) ඉදිරිපත් කරන බවයි බදුල්ල පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.

Your Comments