ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 20,000ට ළංවෙයි

8

කොරෝනා වෛරස ආසාදිතයන් 491 දෙනෙක් ඊයේ(21) දිනයේ මෙරටින් වාර්තාවීමත් සමගින් මෙරට කොරෝනා වෛරස ආසාදිත සමස්ත සංඛ්‍යාව 19,771ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ දිනයේ හඳුනා ගැනුණු ආසාදිතයන්ගෙන් 487 දෙනෙකුම දේශීය හඳුනාගෙන ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ.

සෙසු පුද්ගලයන් සිව්දෙනාගෙන් තිදෙනෙක් ඉතාලියේ සිට මෙරටට පැමිණි පුද්ගලයන් වන අතර අනෙක් පුද්ගලයා තුර්කි ජාතිකයෙකු ලෙස වාර්තා වන බවද එම මධ්‍යස්ථානය පවසනවා.

එලෙස හඳුනා ගැනුණු ආසාදිතයන් 491 දෙනා අතරින් ආසාදිතයන් 292ක් කොළඹ දිස්ත්‍රික්කයෙන්ද ආසාදිතයන් 87ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද ආසාදිතයන් 17ක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්ද වාර්තා වනවා.

අද(22) උදෑසන වන විට මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ මාළු වෙළෙඳ පොළට සම්බන්ධ පොකුරෙන් වාර්තා වන කොවිඩ් ආසාදිත සම්පූර්ණ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 16,248ක් බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ.

කෙසේ වෙතත් මේ වන විට ඉන් පුද්ගලයන් 10,024 දෙනෙක් පූර්ණය සුවය ලබා ඇති බවද එම මාධ්‍යස්ථානය පවසනවා.

එම ආසාදිතයන් 16, 248 දෙනා අතරින් ආසාදිතයන් 13,189 දෙනෙක් වාර්තා වන්නේ කොළඹ මාළු වෙළෙඳ පොල ආශ්‍රීත පොකුරෙනි. සෙසු 3059 දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලා පොකුරෙන් වාර්තා වනවා.

මේ වන විට මෙරටින් වාර්තා වන කොරෝනා වෛරස ආසාදිත සමස්ත රෝගීන් සංඛ්‍යාව 19,771ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.

ඉන් මේ වන විට ආසාදිතයන් 13,590 දෙනෙක් සුවය ලබා ඇති අතර ආසාදිතයන් 6,098 දෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මේ අතර කොරෝනා රෝගීන් බවට සැකය මත පුද්ගලයන් 480 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.

Your Comments