විකුණන්නේ නෑ – බදු දෙන්නේ නෑ – ජනපති කාර්යාලයෙන් නිවේදනයක් – ස්ථාවරය පැහැදිලියි – වරාය වෘත්තීය සමිති වලින් චෝදනා

10

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීම හෝ බදුදීම කිසිසේත් සිදු නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වරාය වෘත්තීය සමිති නියෝජිතයන්ට අද පැහැදිළි කළා.

 

ඒ වෘත්තීය සමිති කළ ඉල්ලීමට අනුව, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීයි.

රට තුළ කෙරෙන ආයෝජන මගින් රටේ ස්වෛරීභාවයට හෝ ස්වාධීනත්වයට කිසිදු හානියක්වීමට තමා ඉඩ නොදෙන බවයි ජනාධිපතිවරයා එම සාකච්ඡාවේදී අවධාරණය කලේ.

පසුගිය රජය විසින් නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකිණීමට ගිවිසුම් අත්සන් කර තිබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ.

අනතුරුව ජපානයෙන් ණය මුදලක් ලබා ගනිමින් එයින් ඉදිකිරීම් සඳහා වන උපකරණ මිලදී ගැනීම සදහා සැලසුම් කර තිබු බව ද එම නිවේදනයේ සදහන්.

වරාය විකිණීම සම්බන්ධව ගිවිසුම පිළිබඳව වත්මන් රජය ඉන්දියාව සමග කළ සාකච්ඡාවලින් පසු සියයට 51 අයිතිය සහ පර්යන්තයේ පාලනය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ තබාගැනීමේ එකඟතාවට පැමිණී බව ද ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ඉදිරියේ දී සිදු කිරීමට නියමිත ආයෝජන වැඩසටහන යටතේ නැගෙනහිර පර්යන්තය “තිරසාර සංවර්ධනයකට” ලක් කරන බව ද ජනාධිපතිවරයා අද පැවති සාකච්ඡාවේ දී වෘත්තීය සමිති වෙත පැහැදිලි කළා.

ඒ අනුව, නැගෙනහිර පර්යන්තය ප්‍රතිඅපනයන මෙහෙයුම්වලින් සියයට 66කට ඉන්දියාව දායකත්වය සපයනවා.

සියයට 9ක් බංග්ලාදේශයටත්, ඉතිරිය තවත් රටවල් කිහිපයකටත් සිදු කෙරෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කල නිවේදනයේ දැක්වුණේ.

ශ්‍රී ලංකා රජයට සියයට 51 අයිතිය සහ ඉතිරි සියයට 49 ඉන්දීයාවේ අදානි සමාගමට මෙන්ම වෙනත් පාර්ශ්වයන්ටත් කොටස්කරුවන් වශයෙන් හවුල් විය හැකි ලෙස පර්යන්තය සංවර්ධනය කිරීම සැලසුම බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම සාකච්ඡාවේ දී පවසා ඇත්තේ.

ඒ පිළිබද කිසිදු සැකයක් තබා නොගන්නා ලෙස ජනාධිපතිවරයා වෘත්තීය සමිති වෙත දැනුම් දී තිබෙනවා.

කෙසේ වෙතත් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කොටසක් ඉන්දියාවට ලබාදීම සදහා රජය ගෙන ඇති තීරණයේ වෙනසක් නොමැති බව වරාය වෘත්තීය සමිති ප්‍රකාශ කලා.

ජනාධිපතිවරයා සමග අද පැවති සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දැක්වු සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ මහතා පැවසුවේ එම සාකච්ඡා අසාර්ථක වු බවයි.

මේ අතර මෙරට සම්පත් රැසක් විදේශ රටවලට අලෙවි කිරීම වර්තමාන ආණ්ඩුව විසින් මේ වන විට ආරම්භ කර ඇතැයි සමගි ජන බලවේගය චෝදනා කලා.

පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා අද කොළඹ පැවති මාධ්‍ය හමුවක දී මේ බව කියා සිටියා.

Your Comments