වැඩිවන කොරෝනා යාපනයේ පාසල් සතියක් වසයි

5

යාපනය ශික්ෂණ රෝහලෙන් මේ වන විට කොවිඩ් ආසාදිත පුද්ගලයින් 19 දෙනෙකු හදුනාගෙන ඇති බව යාපනය මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය සඳහන් කළා.

එම පිරිස අතර වෛද්‍යවරු දෙදෙනෙක්, රෝහල් සේවකයින් 11 දෙනෙකු සහ නේවාසික රෝගීන් 6 දෙනෙකු සිටිනවා.
පවතින තත්ත්වය අනුව යාපනය මධ්‍යම බස් නැවතුම්පොල, වෙළඳ සංකීර්ණය අතුළු මහජන ඒකරාශීවීම් බහුලව සිදුවන ප්‍රදේශවලට මේ වන විට සංචරණ සීමා පනවා තිබෙනවා.

එමෙන්ම යාපනය කළාප අධ්‍යාපන කාර්යාලය යටතේ පවතින සියලු පාසල් සතියක කාලයක් සඳහා වසා දැමීමට තීරණය කළ බව උතුර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ඒ කේදීශ්වරන් මහතා ප්‍රකාශ කළා.

ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 278 අතුරින් වැඩිම පිරිස වන 88 දෙනෙකු හදුනා ගනු ලැබුවේ ද යාපනය දිස්ත්‍රික්කයෙන්.

මේ අතර තලාව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් 8 දෙනෙකු අතුළු 28 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළා.

මේ හේතුවෙන් ප්‍රාදේශීය සභාවේ කටයුතු තාවකාලිකව නතර කර ඇති බව සඳහන්. ඒ සමගම කොරෝනා ආසාදිත පුද්ගලයින්ගේ පවුල්වල 130 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.

මේ අතර, ගත වූ පැය 24 තුල කොරෝනා ආසාදිතව රෝහල්ගතකර සිටි තවත් 235 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගියා.

ඒ අනුව පූර්ණ සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 88 දහස් 623 ක් වන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

තවදුරටත් පුද්ගලයින් 2, 657 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

අද දිනයේත් නව ආසාදිතයින් 168 දෙනෙකු මෙරටින් හදුනා ගැනුණු අතර ඒ අනුව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව අනූ දෙදහස් හත දක්වා ඉහළ ගියා.

 

Your Comments