ලිඳුල නගර සභාවේ සභාපතිගේ ධුරය මධ්‍යම පලාත් ආණ්ඩුකාරවරයා තාවකාලිකව අත්හිටුවයි
රංජිත් රාජපක්ෂ - හැටන්

22

තලවකැලේ ලිඳුල නගර සභාවේ වත්මන් සභාපති අසෝක සේපාල මහතාගේ සභාපති ධුරය වහාම ක්‍රියාත්මක වන පරිදි අද(28) දින සිට තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ඒ මධ්‍යම පලාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා විසින් ගැසට් පත්‍රයක් නිකුත් කිරීම මගින්.

සභාපතිවරයා සිදු කළ බව කියන දුෂණ වංචා 8 ක් සම්බන්ධයෙන් පරික්ෂණයක් පැවැත්වීම සඳහා විශේෂ කොමිසමක් පත්කර ඇති අතර එම පරික්ෂණය අවසන් වන තෙක් සභාපතිවරයාගේ ධුරය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අප තලවකැලේ ලිඳුල නගර සභාවේ සභාපති අසෝක සේපාල මහාතගෙන් සිත නිව්ස්24 විමසුමකදී ඔහු කියා සිටියේ තම නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙකු විසින් 2019 වසරේ මැයි මාසයේ චෝදනා 8 ක් සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාට සහ පලාත් පාලන ආයතන කොමසාරිස්වරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබු බවයි.

එම පැමිණිල්ලට පරික්ෂණයක් පැවැත්වූ බවත්, එම පරික්ෂණ වාර්තාව ඉදිරිපත් නොකර එම චෝදනාවලටම  යළිත් පරික්ෂණයක් පැවැත්වීම සඳහා කොමිසමක් පත් කර තමන්ගේ ධුරය තාවකාලිකව අත්හිටුවා ඇති බවද සභාපතිවරයා කියා සිටියා.

තම ධුරය අත්හිටුවීම හුදෙක් දේශපාලන පළිගැනිමක් බවත්, තමන් ඕනැම පරික්ෂණයකට මුහුණදිමට ඉදිරිපත් වන බවයි අශෝක සේපාල මහතා කියා සිටියේ.

නිති විරෝධි ලෙස සේවකයින් සේවයට බදවා ගැනිම, විධිමත් ටෙන්ඩර් පටිපාටියක් ක්‍රියාත්මක නොකර නගර සභාව සතු ඉඩම් සහ ගොඩනැගිලි තාවකාලිකව බදුදිම, නිවැරදි පටිපාටියකින් තොරව ටෙන්ඩර් කැදවිම, නගර සභා සිමාව තුල ඉදිකර ඇති අනවසර ඉදි කිරිම් නතර කිරිමට පියවර නොගැනිම, නිති විරෝධි ලෙස නගර සභාවට ලේකම්වරයෙකු පත් කර ගැනිම යන චෝදනා ඇතුළු කරුණු 8 ක් සහිත චෝදනා පත්‍රයක් තමන් වෙත ඉදිරිපත් කර ඇති බවයි අසෝක සේපාල මහතා කියා සිටියේ.

එක්සත් ජනතා නිදහස් සංගමයේ මහ ලේකම්වරයා වශයෙන් කටයුතු කරනු ලබන්නේද අසෝක සේපාල මහතා වන අතර, අසෝක සේපාල මහතා 2011 වසරේ සිට තලවකැලේ ලිඳුල නගර සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබනවා.

Your Comments