මෛත්‍රීට සහ කොළඹ රදගුරුතුමන්ලාට පාස්කු කොමිසමෙන් දැඩි අවවාද

35

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම විසින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, ඔහුගේ පෞද්ගලික ලේකම් සමීර ද සිල්වා සහ කොළඹ පදවියේ සහයක රදගුරුතුමන් තිදෙනාට අද දැඩි ලෙස අවවාද කළා.

ඒ, කොමිසමේ කටයුතු සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදන නිකුත් කිරීමෙන් වළකින ලෙස දන්වමින්.

පාස්කු කොමිසම හමුවේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අසත්‍ය සාක්ෂි දී ඇති බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ඔහුගේ පෞද්ගලික ලේකම් සමීර ද සිල්වා මහතා පසුගිය 20 වනදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ජනාධිපති කොමිසම හමුවේ කළ ප්‍රකාශක් ප්‍රතික්ෂේප කරමින් කොළඹ පදවියේ සහයක රදගුරුතුමන්ලා විසින් ද පසුගිය 20 වන දා මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා.

ඒ අනුව පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයන ජනාධිපති කොමිසම දැනුම් දී ඇත්තේ කොමිසමේ සාක්ෂි සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදන නිකුත් කිරීම අනුමත නොකරන බවටයි.

එම නිවේදන පිළිබඳ කොමිසම විසින් කළ දැනුම්දීමකට අනුව හිටපු ජනාධිපති, ඔහුගේ පුද්ගලික ලේකම් සහ කොළඹ පදවියේ සහයක රදගුරුතුමන්ලා වෙනුවෙන් නීතීඥවරුන් ඊයේ කොමිසම හමුවේ කරුණු දක්වනු ලැබුවා.

අතිඋතුම් මැක්ස්වෙල් සිල්වා රදගුරුතුමන්, අතිඋතුම් ඇන්තනි ජයකොඩි රදගුරුතුමන් සහ ඇන්ටන් රංජිත් රදගුරුතුමන් කොමිසමට කැඳවා තිබුණු අතර කොමිසම හමුවේ අද පෙනී සිට ඇත්තේ කොළඹ පදවියේ සහයක රදගුරු අතිඋතුම් මැක්ස්වෙල් සිල්වා රදගුරුතුමන් පමණයි.

Your Comments