මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1791 දක්වා ඉහලට – මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5244ක් දක්වා ඉහළට

14

කොවිඩ් ආසාදිත පුද්ගලයන් 74 දෙනෙක් අද(16) උදෑසන හයෙන් අවසන් වූ පැය විසි හතරක කාලය තුළදී තහවුරු කර ගැනුණු බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

එම මධ්‍යස්ථානය අද උදෑසන නිකුත් කළ නිවේදනයට අනුව එම ආසාදිතයින් 74 දෙනා අතරින් හය දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි පුද්ගලයන් වනවා.

එම හය දෙනාගෙන් දෙදෙනෙකු සිවිල් නාවිකයන් වන අතර අයෙක් මුහුදු ආරක්ෂක නිලධාරියෙකි. අනෙක් පුද්ගලයන් තිදෙනා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයන් තිදෙනෙකි.

සෙසු පුද්ගලයන් 68 දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවය කරන පුද්ගලයන් ළඟින් ඇසුරු කළ පුද්ගලයින් වන බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ.

ඒ අනුව අද(16) උදෑසන 6 වන විට මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කොවිඩ් පොකුරෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 1,791ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන් පුද්ගලයන් 1,041 දෙනෙකු එම ඇඟලුම් කම්හලේ සේවකයන් වන අතර අනෙක් පුද්ගලයන් 750 දෙනා එම කම්හලේ සේවකයන් ළඟින් ඇසුරු කළ පුද්ගලයින් වනවා.

ඔක්තෝබර් 5 වනදා සිට 11 වනදා දක්වා පළමු සතිය තුළදී එම කොවිඩ් පොකුරෙන් ආසාදිතයන් 1,186 දෙනෙක් හඳුනා ගැනුණු අතර ඔක්තෝබර් 12 වන දින ආසාදිතයින් 121 දෙනෙක් හඳුනා ගැනුණා.

ඔක්තෝබර් 12 වන දින ආසාදිතයන් 90 දෙනෙක්ද ඔක්තෝබර් 14 වන දින 194 දෙනෙක්ද ඔක්තෝබර් මස 15 දින ආසාදිතයන් 132 දෙනෙක්ද තහවුරු කර ගැනුණා.

එසේම අද(16) උදෑසන 6 පමණ වන විට වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 68ක් වනවා.

මේ අතර මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව 5244ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන් ආසාදිතයින් 1851 දෙනෙක් රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින අතර ආසාදිතයින් 3380 දෙනෙක් සුවය ලබා ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.

එසේම පුද්ගලයන් 322 දෙනෙක් කොරෝනා වෛරස රෝග ලක්ෂණ සහිත බවට සැකය මත රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

 

Your Comments