මකුලෑවේ විමල අනුනාහිමි රාමඤ්ඤ මහනිකායේ අභිනව මහනාහිමියන් ලෙස පත් කරයි

14

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහානායක ධුරය සඳහා අතිපූජ්‍ය මකුලාවේ විමල අනුනායක හිමියන් පත් කර තිබෙනවා.

උන්වහන්සේ රාමඤ්ඤ මහ නිකායේ 14 වන මහනායක හිමියන් වනවා.

රාමඤ්ඤ මහ නිකායේ මහනායක අතිපූජ්‍ය නාපාන පේමසිරි නාහිමියන්ගේ අපවත්වීමත් සමගින් මහ නායක ධුරය හිස්ව පැවතියා.

මේ සම්බන්ධයෙන් රාමඤ්ඤ මහ නිකායේ කාරක සංඝ සභාව පල්ලෙකැලේ මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදී අද(22) පෙරවරුවේ රැස්වී නව මහනාහිමියන් පත් කරගෙන තිබෙනවා.

මීරිගම විද්‍යාවාස පිරිවෙන් විහාරාධිපති මකුලෑවේ විමල නාහිමියන් මෙතෙක් කලක් රාමඤ්ඤ නිකායේ අනුනාහිමියන් වශයෙන් කටයුතු කරනු ලැබුවා.

එසේම රාමඤ්ඤ මහනිකායේ අධිකරණනායක පදවියද හොබවනු ලැබූ අතර ඊට පෙරාතුව සංඥා ලේකඛකාධිකාරී පදවියද දරමින් නිකායේ උන්නතියට මහත් සේවාවක් සිදු කළ තෙර නමකි.

විමල නාහිමියෝ කුරුණෑගල, ගල්ගමුව, මකුලෑව ගමෙහි හේරත් මුදියන්සේලාගේ පුංචිරාල සහ ඉමිහාමි මුදියන්සේලාගේ කිරිමැණිකේ යන දම්පතීන්ගේ පුත්රුවන් ලෙස 1948 අගෝස්තු 25 වන දින උපත ලබා තිබෙනවා.

උන්වහන්සේ ගිහිකළ මූලික අධයාපනය ලබා ඇත්තේ නිතලව රජයේ පාසලෙනි.

මීරිගම, විද්‍යාවාස පිරිවෙන් විහාරස්ථානයේදී 1960 මාර්තු 24 වන දින වේවැල්දෙණියේ නන්දසිරි මාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් හා රාජකීය පණ්ඩිත නුගදෙණියේ ධම්මානන්ද මාහිමියන්ගේ ආචාර්යත්වයෙන් මකුලෑවේ විමල නමින් පැවිදි බිමට පත්ව තිබෙනවා.

මිණිඔලුව විද්‍යාවාස පිරිවෙන 1967 වසරේ දී ආරම්භ කළ අවස්ථාවේදී එහි පළමු පැවිදි ශිෂ්‍යයා ලෙස මකුලෑවේ විමල හිමියෝ එම පිරිවෙනට ඇතුළත් වූහ. එහිදී ප්‍රාචීන, ප්‍රාරම්භ, මධ්‍යම යන විභාගවලින්ද උන්වහන්සේ සමත්වූහ.

1971 දී අනුරාධපුර බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨයට ඇතුළත්ව ශාස්ත්‍ර හා ත්‍රිපිටකය හදාරා 1976 දී ත්‍රිපිටකවේදී උපාධිය ලැබූහ. 1974 දී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පරියත්ති පාලක සභාවෙන් ත්‍රිපිටකාචාර්ය උපාධිය ලැබූ විමල හිමියෝ එම පාලක සභාවෙන් ත්‍රිපිටක විශාරද ගෞරව උපාධිය ලැබුවා.

1976 දී මිණිඔලුව විද්‍යාවාස පිරිවෙන්හි උපගුරුවරයකු ලෙස සේවයට එක්වූ මකුලෑවේ විමල හිමියෝ මරදාන ශ්‍රී ලංකා විද්‍යාලයේ ද, සේවය කළ අතර අලව්ව ශ්‍රී රාහුල පිරිවෙනේ පරිවෙනාධිපති ලෙස ද අනතුරුව විද්‍යාවාස පිරිවෙන්හි පරිවෙනාධිපති ලෙසද කටයුතු කළා.

 

 

 

Your Comments