බූවැලිකඩ කඩා වැටුණු ගොඩනැගිල්ල අවට අනෙකුත් පදිංචිකරුවන්ටත් දැනුම්දීමක්

8

මහනුවර, බූවැලිකඩ, සංඝමිත්තා මාවතේ කඩා වැටුණු පස්මහල් ගොඩනැගිල්ල ආසන්න තවත් ගොඩනැගිලි කිහිපයක පදිංචිකරුවන්ට එම ස්ථානවලින් තාවකාලිකව ඉවත් වන ලෙස දැනුම් දී තිබෙනවා.

ඒ, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්.

කඩා වැටුණ ගොඩනැගිල්ල ඉදිකිරීම සිදුකර ඇත්තේ සිය නිර්දේශවලට අනුකූලව නොවන බවටයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මේ වන විට තහවුරු කරගෙන ඇත්තේ.

මෙම ගොඩනැගිල්ල කඳු බෑවුම් සහිත අස්ථාවර භූමියක ඉදිකර තිබෙනවා.

එවැනි ස්ථානවල ගොඩනැගිලි ඉදිකළ යුත්තේ ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ලබාදෙන නිර්දේශ අනුව බවයි මහනුවර දිස්ත්‍රික්කය භාර භූ විද්‍යාඥ සමන්ත බෝගහපිටිය මහතා කියාසිටියේ.

ගොඩනැගිල්ල කඩාවැටීමෙන් අනතුරුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මෙන්ම භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය ද වෙන වෙනම විමර්ශන ආරම්භ කළා.

මේ අතර අදාළ ගොඩනැගිල්ල කඩා වැටීමට හේතු පිළිබද පරීක්ෂණයක් සිදුකර කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතාද නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

එමෙන්ම පළාතේ නීතිවිරෝධී ලෙස ඉදිකර ඇති සෙසු ගොඩනැගිලි සම්බන්ධයෙන් ද ඉදිරියේදී වගකිවයුතු පාර්ශව සමග පොදු තීරණයකට එළඹෙන බවයි ආණ්ඩුකාරවරයා කියාසිටියේ.

ගොඩනැගිල්ල කඩා වැටීමට හේතුව පිළිබඳ සෙවීමේ අරමුණින් රාජ්‍ය ආයතන කිහිපයකින් වාර්තා කැඳවා ඇති බව ද මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා කියා සිටියා.

මේ අතර අදාළ ගොඩනැගිල්ලේ හිමිකරුට එරෙහිව අද අධිකරණයට කරුණු වාර්තා කරන බව පොලිසිය ප්‍රකාශ කළා.

ඊයේ අලුයම සිදුවූ මෙම ගොඩනැගිල්ල කඩාවැටීමෙන් මාස එකහාමාරක බිළිඳියක සහ ඇයගේ දෙමව්පියන් මිය ගියා.

Your Comments