බුරුත දැව කඳන් තොගයක් ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට
මාධව කුලසූරිය - වවුනියාව

12

බුරුත දැව කඳන් තොගයක් ප්‍රවාහනය කළ සැකකරුවෙකු වවුනියාව පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් හා වවුනියාව අඩවි වන නිළධාරීන් එක්ව සිදුකළ මෙහෙයුමකදී ඊයේ(07) අත්අඩංගුවට ගත් බව වවුනියාව අඩවි වන කාර්යාල නිළධාරීන් පවසනවා.

වවුනියාව අඩවි වන නිළධාරීන් පැවසූවේ වවුනියාව පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

වවුනියාව, කරුන්ගාලික්කුලම රක්ෂිතයේ තිබී කැපු බුරුත දැව නීති විරෝධි අයුරින් කපා කැබ් රථයක පටවා ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරු අත්අඩංගුවට  ගත් බවයි අඩවි වන නිළධාරීන් කියා සිටියේ.

සැකකරු කැබ් රථය තුළ පටවා තිබු විශාල ප්‍රමාණයේ බුරුත දැව කඳන් අටක් අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු හා බුරුත දැව කඳන් තොගය වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව අඩවි වන කාර්යාල නිළධාරීන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

Your Comments