බස්නාහිරට ඇතුළුවීම සහ පිටවීම තහනම් – නිරීක්ෂණයට සිවිල් පොලීසිය – අධිවේගයේ ගමනාගමනයට සීමා

22

අද මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතටම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මකයි.
ඒ අනුව අද පෙරවරු 8 සිට රාත්‍රී 10 දක්වා අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ඇඳිරිනීතිය පවතින ප්‍රදේශවලට ජනතාවට අවස්ථාව හිමිවන බවයි යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ.

මේ අතර, නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංගනය කළ 73 දෙනෙකු සහ වාහන 3ක් පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.
අද පෙරවරු 6න් අවසන් වූ පැය 24 තුළ ඔවුන් අත්අඩංගුවට ගත් බවයි හෙතෙම කියා සිටියේ.
ඒ අනුව නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 1, 235ක් සහ වාහන 177ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මේ අතර, ඇඳිරි නීතිය උල්ලංඝනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ දිස්ත්‍රික්කය මූලික කර ගනිමින් සිවිල් පොලිස් නිලධාරින් අද සිට යෙදවීමට නියමිතයි.
එමෙන්ම අධිවේගී මාර්ගයේ ද වාහන ගමනා ගමනය අද මධ්‍යම රාත්‍රියේ සිට සීමාවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.
ඒ අනුව බස්නාහිර පළාතට කෙසේ හෝ ඇතුල් වුව ද අත්‍යාවශ්‍ය කරුණකට හැරුණුකොට ඉන් පිටවීමට කිසිදු අවසරයක් හිමි වන්නේ නැහැ.

අද උදෑසන 6 සිට බස්නාහිර පළාතේ සිට පිටවන සියලුම රථවාහන විශේෂ සෝදිසි කිරීමකට ලක්කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.
කෙසේ වෙතත් ඇඳිරිනීතිය අත්‍යාවශ්‍ය රාජකාරී සඳහා බාධාවක් නොවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

Your Comments