පාස්කු කොමිසමේ වාර්තාව ලබන 10 දා පාර්ලිමේන්තු විවාදයට

5

පාස්කු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳව විවාදය ලබන මාර්තු 10 වැනි දින බදාදා ආරම්භ කිරීමට තීරණය වී තිබෙනවා.

 

ඒ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී.

ඒ අනුව ජනාධිපති කොමිෂන් සභා වාර්තාව, රජය විසින් ගෙන එනු ලබන සභාව කල් තැබීමේ යෝජනාවක් ලෙස විවාදයට ගැනීමට එම රැස්වීමේදී තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළා.

මාර්තු 9 වැනිදා පෙරවරු 10ට පාර්ලිමේන්තුව ආරම්භ කරන අතර පෙරවරු 10 සිට පෙරවරු 11 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සඳහා කාලය වෙන් කෙරෙනවා.

ඉන්පසුව පසුගිය පාර්ලිමේන්තු වාරයේදී කල්තබන ලද මැණික් හා ස්වර්ණාභරණ පනත යටතේ ගෙන එනු ලබන රෙගුලාසි පිළිබඳ විවාදය, විදේශ විනිමය පනත යටතේ වන රෙගුලාසියක් සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග 2ක් පිළිබඳ විවාදය ද පෙ.ව 11 සිට ප.ව 03.30 දක්වා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී පක්ෂ නායකයන් තීරණය කර තිබෙන්නේ.

මෙරට කාන්තාවන්ට සිදුවූ අකටයුතුකම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම පිළිබඳව සොයා බලා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය තහවුරු කිරීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් ඉදිරිපත්කර ඇති යෝජනාව පාර්ලිමේන්තුවට මෙදින ඉදිරිපත් කරනු ඇත.

එම විවාදය පස්වරු 3.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වෙයි.

Your Comments