නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා අත්අඩංගුවට

42

මඩකලපුව, කාත්තන්කුඩි ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදාව විසින් ඊයේ(27) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් කාත්තන්කුඩි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි‍ මෙහෙයුමක් අතරතුරදියි මොවුන් අතඅඩංගුවට ගෙන ඇත්තේ. නීති විරෝධි ලෙස උල් සහිත යකඩ කූරු යොදා ගනිමින් මසුන් ඇල්ලීම හේතුවෙන් මෙම පුද්ගලයින් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශනයේදී වඳ වී යාමේ තර්ජනයට ලක්වූ මත්ස්‍ය විශේෂයකට අයත් මසුන් තිදෙනෙකු ද එහිදී  සොයා ගෙන තිබෙනවා. එම මසුන් රතු දත්ත පොතට ද ඇතුළත් වූ මත්ස්‍ය වර්ගයක් ලෙස හඳුනාගෙන ඇති බවයි නාවික හමුදාව පවසන්නේ.

එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක් සහ අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 65 ක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට පත් පුද්ගලයින් වයස අවුරුදු 42, 49 සහ 54 වන වියෙහි පසුවන කාත්තන්කුඩි සහ මාතර ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයන්, යාත්‍රාව, පිටත දහන යන්ත්‍රය, අල්ලන ලද මසුන් තොගය සහ අනෙකුත් ධීවර ආම්පන්න මඩකලපුව, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාරදිමට කටයුතු කර තිබෙනවා.

 

 

Your Comments