නිවාස කොල්ලකා රන් භාණ්ඩ සොරාගත් බාල වයස්කරුවන් දෙදෙනෙකු ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට
මාධව කුලසූරිය - වවුනියාව

28

යාපනය, වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ නිවෙස්වලට ඇතුළුවී රන් භාණ්ඩ හා මුදල් සොරා ගැනීම් සිදුවීම්වලට සම්බන්ධ බවට සැකපිට බාල වයස්කරුවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු ඊයේ(21) අත්අඩංගුවට ගත් බව යාපනය වැල්වැටිතුරෙයි පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ පසුගිය මාස හතරක පමණ කාලය තුළ වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ සිදුවු සොරා ගැනීම් සම්බන්ධයෙන් ලද පැමිණිළි මත සිදුකළ පරීක්ෂණයකදී අදාළ සැකකරුවන් අත්අඩංගුටවට ගත් බවයි.

සැකකරුවන් සමඟ සොරාගත් රන් පවුම් තුනක්, ජංගම දුරකථන තුනක් හා රන් භාණ්ඩ උකස් කළ රිසිට්පත් තොගයක්ද සොයා ගෙන තිබෙනවා.

සැකකරුවන් සතුව තිබි රුපියල් අට ලක්ෂ හතළිස් දහසක් වටිනා රන් භාණ්ඩ උකස් මධ්‍යස්ථාන වෙත උකස් කළ රිසිට් පත් තිබි සොයාගත් බවද පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.

සැකකරුවන්ගෙන් සිදුකළ විමසීමකදී සැකකරුවන් රුපියල් 60,000 ක පමණ මුදලක් විවිධ නිවාසයන්ගෙන් සොරාගෙන ඇති බවට අනාවරණය වි ඇති බවයි පොලිසිය සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් හෙළිව තිබෙන්නේ.

යාපනය, වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ පදිංචි වයස  අවුරුදු 16 ක බාල වයස්කරුවන් දෙදෙනෙකු, වයස අවුරුදු 18, 21 හා 25 වයසේ පසුවන පිරිසක් එලෙස අත්අඩංගුවට තිබෙනවා.

සැකකරුවන් යාපනය පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැල්වැටිතුරෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

Your Comments