නිදහස් පක්ෂයට නව ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරු පත් කෙරේ

32

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව ආසන හා දිස්ත්‍රික් සංවිධායකවරු 17 දෙනෙකු අද (11) පත් කර තිබෙනවා. ඔවුන් අද පෙරවරුවේ නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබාගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.
එලෙස නව ආසන සංවිධායක ධුරයන් ලැබූ පුද්ගලයන් අතර හිටපු අමාත්‍යවරයකු වන ජීවන් කුමාරතුංග මහතාද වනවා. ඔහු පත් කර ඇත්තේ කැස්බෑව ආසනයේ ආසන සංවිධායකවරයා ලෙසයි. ගම්පහ ජාඇළ මැතිවරණ බලප්‍රදේශයේ සංවිධායකවරයා ලෙස නාමල් සුරංග මහතා පත් කර ඇති අතර ලලිත් ටෙන්සිල් මහතා පත් කර ඇත්තේ මීගමුව ආසනයේ සමසංවිධායකවරයා ලෙසයි.
මේ අතර හොරණ ආසනයේ සංවිධායකවරයා ලෙස රවීන්ද්‍ර ශ්‍රී සුරංග මහතා ද බේරුවල ආසනයේ සංවිධායකවරයා ලෙස සුගත් මතුගමගේ මහතාද පත් කර තිබෙනවා.
සාලිය ගුණසිංහ මහතා කළුතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා ලෙස පත් කර ඇති අතර මහනුවර, පාතදුම්බර ආසනයේ සම සංවිධායකවරයා ලෙසට එච්. ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා පත් කර තිබෙනවා.
අනුරුද්ධ පාලිත බණ්ඩාර මහතා උඩුදුම්බර ආසනයේ සම සංවිධායක ධුරයට පත් කර ඇති අතර රත්නපුර දිස්ත්‍රික් සංවිධායකවරයකු ලෙස කණිෂ්ඨ අවිනාශ් රත්නසේකර මහතා පත් කර තිබෙනවා.
ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ වේරුගල් බලප්‍රදේශය භාර සංවිධායකවරයා ලෙස කනගසූරියම් උදය කුමාර් මහතා ද මුතූර් ආසනයේ සම සංවිධායකවරයා ලෙස එස්.එම්. සුබියන් මහතාද මුතූර් ප්‍රාදේශීය බලප්‍රදේශය භාර සංවිධායකවරයා ලෙස එම්.එච්.එම්. රාසික් මහතාද පත් කර තිබෙනවා.
එන්. සුනිල් රාසික් මහතා පත් කර ඇත්තේ කුච්චවේලි ප්‍රාදේශීය බලප්‍රදේශ සංවිධායකවරයා ලෙසයි.
මේ අතර අලගු ධර්මරාජන් මහතා ත්‍රිකුණාමලය කප්පල්තුරේ ප්‍රාදේශීය බලප්‍රදේශය භාර සංවිධායකවරයා ලෙස පත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.
ත්‍රිකුණාමලය නගර සභා බලප්‍රදේශයේ දමිළ ජනප්‍රදේශ සංවිධායකවරයා ලෙස කාලි රාජා ක්‍රිෂ්ණරාජා මහතාද තඹලගමුව ප්‍රාදේශීය බලප්‍රදේශ සංවිධාකවරයා ලෙස ආර්. කලිපුල්ලා මහතාද අද දිනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් පත්වීම් ලිපි ලබාගෙන තිබෙනවා.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ වැඩපිළිවෙළ යටතේ ආසන සංවිධායක සහ දිස්ත්‍රික් සංවිධායක ධුරයන් යථාවත් කරමින් පත්වීම් ලිපි ප්‍රදානයද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද සිදු කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්ද අමරවීර සහ ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් පිරිසක් එක්ව සිටියා.

 

Your Comments