නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් පහකට එරෙහි නඩුවක් ජුලි 7 දක්වා කල්යයි

35

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති නඩුවේ විභාගය ජුලි මස 07 වනදා දක්වා කල් දැමීමට කොළඹ මහාධිකරණය නියෝග කළා.
මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේයි.
නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බැවින් ඔහුට අයවැය විවාදයට සහභාගි වීමට ඇති නිසා අද දින විභාගය කල් දමන ලෙස යි.
එම ඉල්ලීම පිළිගත් කොළඹ මහාධිකරණ විනිසුරුවරයා නඩු විභාගය ජුලි 07 වනදා දක්වා කල් දැමූ අතර එදින සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝග කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් සමාගමේ ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබෙනවා.

Your Comments