විශාල ගැටලුවක්ව පවතින කසල, ආර්ථිකයට ශක්තියක් මෙන්ම ඵලදායි කේෂ්ත්‍රයක් බවට පත් කරමින් විදුලි උත්පාදනය සඳහා යොදා ගැනීමේ නියමු ව්‍යාපෘතියක්, ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

 

විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවේ මෙම ව්‍යාපෘතියේ පළමු බලාගාරය, ගම්පහ හැඳල කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කෙරෙන බවයි.

ඒ අනුව දෛනිකව කසල ටොන් 700 ක් පමණ යොදා ගනිමින් මෙගාවොට් 10ක පමණ ධාරිතාවක් ජාතික විදුලි පද්ධතියට දායක කිරීමේ කටයුතු ලබන මස මුල දී ආරම්භ කෙරෙනු ඇති.

නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැරකරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ද සහාය ඇතිව දිස්ත්‍රික් මට්ටමෙන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමට උපදෙස් ලබා දුන් බව අමාත්‍යවරයා සඳහන් කළා.

පොසිල ඉන්ධන වලින් තොර විදුලිබල ක්ෂේත්‍රයක් ගොඩනැගීමේ ජාතික ඉලක්කය වෙනුවෙන් පුනර්ජනනීය බලශක්තීන් වෙත අවධානය යොමු කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම සංකල්පයේ දී විදුලිබල ක්ෂේත්‍රයට විශේෂ කාර්යභාරයක් පැවරී ඇති බවද ඩලස් අලහප්පෙරුම මහතා පෙන්වා දුන්නා.

Your Comments