නව ආසාදිතයින් පස් දෙනෙක් සමගින් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3276 දක්වා ඉහළට

5

ඊයේ දිනයේදී කොරෝනා ආසාදිත නව රෝගීන් පස් දෙනෙකු තහවුරු කර ගැනීමත් සමග මෙරට කොරෝනා වෛරස ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව 3,276ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යංශය කියා සිටියේ එලෙස තහවුරු කර ගන්නා ලද ආසාදිතයින් පස් දෙනාම විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලයන් බවයි.
ඔවුන් පස් දෙනා අතරින් දෙදෙනෙකු ඕමානයේ සිට මෙරටට පැමිණි නිරෝධායනයට ලක්වෙමින් සිටි පුද්ගලයන් වන අතර සෙසු තිදෙනා එක්සත් අරාබි එමීර් රාජ්‍ය, කටාර් සහ මැඩගස්කරයේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන් බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ.
ඒ අනුව මේ වන විට මෙරට රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 220ක් වන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.
මේ අතර මෙරට සමස්ත කොරෝනා ආසාදිත රෝගීන්ගෙන් මේ වන විට රෝගීන් 3,043 දෙනෙකු සුවය ලබා තිබෙන අතර මරණයට පත්වූ සංඛ්‍යාව 13ක්.
ඒ අනුව ඊයේ දිනයේදී රෝගීන් විසි දෙදෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර ඔවුන් සියලු දෙනා විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායන කටයුතුවල නිරතව සිටි පුද්ගලයන් බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ.
ඊයේ දිනය තුළදී PCR පරීක්ෂණ සංඛ්‍යාව 1640ක් සිදු කර ඇති අතර මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදු කර ඇති සමස්ත PCR පරීක්ෂණ 264,343ක් සිදු කර ඇති බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසන්නේ.

Your Comments