තවත් ආසාදිතයන් 439ක් සමගින් මෙරට කොරෝනා ආසාදිත සමස්ත සංඛ්‍යාව 18,839 දක්වා ඉහළට

9

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව 18,839ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ ඊයේ දිනයේදී කොරෝනා වෛරස ආසාදිතයන් 439 දෙනෙක් තහවුරු කර ගැනුණු බවයි.

ඔවුන්ගෙන් 437 දෙනෙක් දේශීය වාර්තා වන බවත් සෙසු දෙදෙනා විදේශීය රටවල සිට මෙරටට පැමිණි විදේශීය මුහුදු ආරක්ෂකයකු සහ ඉන්දියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙකු ලෙසත් වාර්තා වන බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ.

හඳුනාගත් ආසාදිතයන් අතරින් වැඩිම ආසාදිතයන් පිරිස වන 305ක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවත් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 58 දෙනෙක් වාර්තා වන බවත් එම මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසනවා.

ඒ අනුව මේ වන විට කොරෝනා වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයන්ගේ සංඛ්‍යාව 5,867ක් වන අතර සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 12,903ක් වනවා.

එසේම තවත් පුද්ගලයන් 580 දෙනෙක් කොරෝනා රෝග ලක්ෂණ සහිත බවට සැකය මත රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.

මේ අතර අද(20) උදෑසන වන විට මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ මාළු වෙළෙඳ පලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් 19 වෛරස ආසාදිත සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 15,324ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ.

මේ වන විට ඉන් පුද්ගලයන් 9,478 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවද එම මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් පොකුරෙන් ආසාදිතයන් 3,059 දෙනෙක්ද කොළඹ මාළු වෙළෙඳපළේ පොකුරෙන් 12,265ක්ද මේ වන විට වාර්තා වී තිබෙනවා.

 

Your Comments