ජිනීවා යෝජනා ගැන අගමැතිගෙන් නිවේදනයක්
මානව හිමිකම් කොමසාරිස්ගෙන් ශ්‍රී ලංකාවට ඉල්ලීමක්

21

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව සම අනුග්‍රහය දැක්වූ 30/1 යෝජනාව පවත්වාගෙන යෑමේ ක්‍රියාවලියෙන් ඉවත්වීමට ආණ්ඩුව තීරණය කර ඇති බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද ප්‍රකාශ කළා.
ඒ විශේෂ නිවේදනයක් නිකුත් කරමින්.
අමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවේ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හා ඔහුගේ පවුලේ සාමාජිකයන් ඇමරිකාවට ඇතුල් වීම තහනම් කිරීම සම්බන්දයෙන් ද එම නිවේදනයේ ප්‍රශ්න කර තිබෙනවා.
රටේ දේශපාලන බෙදීම පවතින්නේ රට ජාතිය ගැන සිතන දේශමාමක බලවේග සහ රට පාවාදීමට අවස්ථාවක් එනතුරු බලා සිටින දේශද්‍රෝහීනුත් අතර බව, මෙමඟින් පැහැදිළි නොවන්නේදැයි අග්‍රාමාත්‍යවරයා සිය නිවේදනය මගින් ප්‍රශ්න කරනවා.
අමෙරිකාව මෙලෙස පනවා ඇති තහන්චිවල සාධාරණය කුමක් දැයි ජනතාව තීන්දු කළ යුතු බවද අග්‍රාමාත්‍යවරයාගේ නිවේදනයේ සඳහන්.
කෙසේ වෙතත් ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාව ක්‍රියාවට නංවන්නැයි ජගත් මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැෂ්ලේ ඉල්ලීමක් කර තිබෙනවා.
රට තුළ සියලු ජන ප්‍රජාවන්ට සාමකාරී පරිසරයක ජිවත්වීමට එය ඉවහල් වන බවයි ඇය පෙන්වා දෙන්නේ.
මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරයට පෙර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරමින් ඇය මේ බව අවධාරණය කර ඇති බව සඳහන්.
මානව හිමිකම් මහ කොමසාරිස්වරිය එමගින් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් කණස්සල්ල පළ කර තිබෙනවා.

Your Comments