ජනපතිට නිකුත් කළ සිතාසිය අභියාචනාධිකරණය බලරහිත කරයි

20

යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුව වෙනුවෙන් හිටපු ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නිකුත් කර තිබූ සිතාසිය බල රහිත කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.

මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් යන අය අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විභාග වන නඩුවකට අදාලවයි මෙම සිතාසිය නිකුත් කෙරුණේ.

ඒ අනුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු එම්. ඩි. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන් විසින් එම සිතාසිය බලරහිත කරනු ලැබුවා.

ලලිත් – කුගන් දෙදෙනා අතුරුදන්වූ 2012 වසරේදී ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කලේ ගෝඨාභය රාජපක්ෂ මහතායි.

අදාළ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවේ එක් වගඋත්තරකරුවෙකු ලෙස ද ඔහු නම් කර තිබුණා.

Your Comments