චමල් – ෆොන්සේකා වාග් ප්‍රහාරයක-විපක්ෂයෙන් කළු පටි

8

හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීමට එරෙහිව සමගි ජනබලවේගය අද කළුපටි පැළඳ පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා.

සිත නිව්ස් 24 පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කළේ විපක්ෂයේ බොහෝ මන්ත්‍රීවරුන් පිරිසක් එලෙස කළු පටි පැලඳ සභා ගර්භයේ රැදී සිටින බවයි.

රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන අහිමි වී ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළ අතර තමා ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම දැනුවත් කර ඇති බව ද ඔහු සඳහන් කළා.

අද පාර්ලිමේන්තුව ආරම්භයේ දී ද ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව රංජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධූරය අහෝසි කිරීමට කටයුතු කර ඇති බවයි.

ව්‍යවස්ථාවේ 66 ඊ වගන්තියට අනුව මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේ අවසරය කළින් නොලබා මාස තුනක් අඛණ්ඩව පාර්ලිමේන්තු රැස්වීම්වලට නොපැමිණීමෙන් එකී මන්ත්‍රී ධූරය අහෝසි වන බවයි.

කෙසේ වෙතත් ඊට විරෝධය පළකළ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් සභා ගර්භයෙන් නැගිට අඛණ්ඩව බාධා කරන්නට වුණා.

එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ කතානායකවරයා සිය බලය අත්තනෝමතිකව මෙහෙයවමින් සිටින බවයි.

ඒ සමගම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ද දිගින් දිගටම බාධා එල්ල වූ අතර සමගි ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේ තමා සිරගත වූ කාලවකවානුවේ ද එවකට පැවති වත්මන් ආණ්ඩුව අසාධාරණ ලෙස කටයුතු කළ බවයි.

එම අවස්ථාවේ නැගී සිටි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා දැඩි වාග් ප්‍රහාර එල්ලකරමින් පිළිතුරු ලබා දීමත් සමග දෙදෙනා අතර උණුසුම් අසභ්‍ය වචන හුවමාරුවක් සිදුවුණා.

අවසානයේ දී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කළේ සභාව විනාඩි 10 කට කල් තැබීමටයි.

 

Your Comments