චමල් – ෆොන්සේකා වාග් ප්‍රහාර මැද සමගි ජන බලවේගය සැණකෙළියේ.

6

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධූරය අහෝසි වීම සම්බන්ධයෙන් අදත් පාර්ලිමේන්තුවේදී උණුසුම් වාද විවාද ඇති වුණා.

 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අදාල සිද්ධියට දිගින් දිගටම විරෝධය පල කල අතර එය වඩාත් උණුසුම් මුහුණුවරක් ගත්තේ ඒ පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අදහස් දැක්වීමත් සමගයි.

ඊට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ආවේගශීලීව පිළිතුරු ලබා දීමත් සමග ඔවුන් දෙදෙනා අතර ආචාරශීලී නොවන ප්‍රකාශ ඇතුළත් සංවාදයක් ඇති උනේ මෙලෙසින්.

එම අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂ මන්ත්‍රීවරුන් සිය ආසන වලින් නැගිට එකිනෙකාට චෝදනා එල්ල කරගනු ලැබූ අතර සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් ගීත ගායනා කරමින් අශෝබන ලෙස හැසිරෙන ආකාරයක්ද දක්නට ලැබුණා.

ඒ අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුව වැනි උත්තරීතර ආයතනයක සිදු නොවිය යුතු ආකාරයේ වාග් ප්‍රහාර මාලාවක් ද එල්ල කරනු ලැබුවා.

අදාල සිද්ධිය වන අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සිය ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ සජීවී විඩියෝවක් විකාශය කරමින් මෙලෙස අදහස් පල කලා.

ඊට සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයාද එක් ව සිටියා.

කෙසේ වෙතත් ඇති වූ තත්වය පාලනය කිරීම සදහා කතානායකවරයාට පාර්ලිමේන්තුව කෙටි කාලයකට කල් තැබීමටද සිදු වුණා.

මේ අතර කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ හැසිරීම පක්ෂපාතී බවට සමාජ මාධ්‍ය වල පල වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා ප්‍රකාශ කලා.

ඊට විරෝධය පල කරමින් ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්සටන් ප්‍රනාන්දු මහතා අදාල ප්‍රකාශය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස කල ඉල්ලීම කතානායකවරයා අනුමත කලා.

එහි දී අමාත්‍ය සී. බී.රත්නායක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන චමින්ද විජේසිරි, තුෂාර ඉඳුනිල් යන මහත්වරුන් අතර මෙවැනි උණුසුම් සංවාදයක් ඇති වුණා.

Your Comments