ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමේ අවදානමක්

36

ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමට ඉහළ හැකියාවක් පවතින බැවින් දිවයින පුරා වැසි සහ සුළං තත්ත්වයේ සැලකිය යුතු වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රීතව පැවති අඩු පීඩන තත්ත්වය අද උදේ 11.30 වන විට ගැඹුරු පීඩන අවපාතයක් බවට වර්ධනය වී ත්‍රිකුණාමලයට ගිනිකොණ දෙසින් කිලෝමීටර් 460ක් දුරින් ස්ථානගතව පවතින් බවද එම නිවේදනයේ සඳහන්. කාලගුණු විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ මෙම පද්ධතිය ඉදිරි පැය 24 තුළදී සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති බවයි.

මෙම පද්ධතියට බටහිරට නැඹුරුව වයඹ දෙසට ගමන් කර මඩකලපුව සහ පේදුරුතුඩුව අතරින් ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට හෙට(02) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඇතුළු වීමට වැඩි හැකියාවක් පවතින බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ඒ අනුව නැගෙනහිර, උතුරු, උතුරු මැද, වයඹ, මධ්‍යම සහ සබරගමුව පළාත්වල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

එසේම ඇතැම් විට මිලිමීටර් 200 ඉක්මවූ ඉතා තද වැසි ද ඇති විය හැකි බවද සඳහන්.

සෙසු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසිටි ඇති විය හැකි බවත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ට වැඩි තද වැසි ද ඇති විය හැකි බවයි නිවේදනයේ දැක්වෙන්නේ.

එසේම උතුර, උතුරු මැද, නැගෙනහිර, වයඹ, බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව යන පළාත්වල විටින් විට පැයට කිලෝමීටර් අසූවක් අනූවක් දක්වා වන ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇති විය හැකියි.

සෙසු ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් හැට හැත්තෑව පමණ දක්වා වන තද ප්‍රහාරාත්මක සුළං ඇති විය හැකි බවත් ඇති විය හැකි අයහපත් කාලගුණික තත්ත්වය පිළිබඳ විමිසිලිමත් වන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

Your Comments