ග්‍රෑන්ඩ්පාස් ඝාතන සිද්ධියට කුඩු රොෂාන්, පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙකු ඇතුළු 7ක් අත්අඩංගුවට

50

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී අපරාධ කල්ලි සාමාජිකයෙකු ඇතුලු‍ දෙදෙනෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකපිට පුද්ගලයන් 7 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ යක්කල ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටියදීයි.

සැකකරුවන් අතර සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කුඩු රොෂාන් නමැත්තා සහ ගම්පහ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකුද වන බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළා.

මොවුන් සතුව තිබී හෙරොයින් තොගයක්, මෝටර් රථයක් සහ ජංගම දුරකථන 7 ක්ද ආරක්ෂක අංශ භාරයට ගැනුණා.

සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලිසියට භාරදී තිබෙනවා.

ග්‍රෑන්ඩ්පාස් මාදම්පිටිය සුසාන භූමියේදී අදාළ ඝාතන සිදුවී තිබුණේ පසුගිය මස 15 වනදායි.

එදින පස්වරු 4.00 ට පමණ දෙපිරිසක් අතර ගැටුමක් ඇතිව තිබුණා.

පොලිසිය පැවසුවේ ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් පුද්ගලයන් දෙදෙනෙකුට මන්නා පිහිවලින් පහර දී කපා කොටා පලා ගොස් ඇති බවයි.

බරපතල තුවාල ලැබූ ඔවුන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබෙනවා.

ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනාට තවත් ත්‍රීරෝද රථයකින් පුද්ගලයින් සිව් දෙනෙකු පැමිණ තියුණු යුධ ප්‍රහාරය එල්ල කර ඇති බවටයි පැවසෙන්නේ.

මියගොස් ඇති පුද්ගලයෙකු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘ආනමාළු රංග’ නමැත්තා බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.

විමර්ශනවලදී අනාවරණය වී තිබුණේ සැකකරුවන් පැමිණි ත්‍රීරෝද රථය කුඩු රොෂාන්ගේ බිරිඳට අයත් එකක් බවයි.

Your Comments