ගංජා සහ කුඩු සමග සැකකරුවෝ පහක් අත්අඩංගුවට
ඉන්දික අරුණ කුමාර - නාඋල

5

නාඋල පොලිසියේ නිලධාරින් සිදුකල හදිසි සෝදිසි මෙහෙයුම් දෙකකදී ගංජා සහ හෙරෝයින් සන්තකයේ තබාගත් පුද්ගලයෝ පස් දෙනෙක් 20 සහ 21 දෙදින තුළ අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් පිරිස් අතරින් සිව් දෙනෙකු හොරොව්පතානේ සිට හඟුරන්කෙත දක්වා ත්‍රිරෝද රථයකින් ගංජා ප්‍රවාහනය කළ පිරිසක් බවද පොලිසිය කියා සිටියා.

ඔවුන් සන්තකයේ තිබී ගංජා මිලි ග්‍රෑම් 34,000ක් සොයා ගැනුණු බවත් අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28- 30- 35 – 40 පමණ වයස්වල පසුවන්නන් බවත් පොලිසිය වැඩිදුරටත් පවසනවා.

පොලිසිය කියා සිටියේ සෙසු සැකකරුවා හොරොයින් මිලි ග්‍රෑම් 1800 ක් සන්තකයේ තබාගෙන සිටියදී නාඋල – සී ඩී හන්දිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවයි.

මෙම සැකකරුට එරෙහිව මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීමේ චෝදනා යටතේ හා සෙසු සැකකරුවන් සිව්දෙනා සහ ගංජා ප්‍රවාහනය කළ ත්‍රිරෝද රථයද නාඋල මහේස්ත්‍රාත් අධිකරණයට අද(22) ඉදිරිපත් කරන බව නාඋල පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක යු.පි.ජි.කේ. රත්නායක මහතා පවසනවා.

හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ නාඋල ප්‍රදේශය හරහා සිදුවන විවිධ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් නිරන්තර මෙහෙයුම්  සිදුවන බවයි.

මේ අතර නාඋල පොලිසිය පවසන්නේ විවිධ ක්‍රමෝපායන් ඔස්සේ මාතලේ – නාඋල නගරය හරහා සිදුකරනු ලබන හෙරෝයින් සහ ගංජා වැනි මත්ද්‍රව්‍ය ප්‍රවාහනයන් සම්බන්ධයෙන් විශේෂ පුද්ගලයින් රැසක් සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කර ඇති බවයි.

කලක් තිස්සේ නාඋල කේන්ද්‍ර කර ගනිමින් සිදුකරනු ලබන විවිධ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් සැකකරුවන් රැසක් පසුගිය සමයේ අත්අඩංගුවට ගත් බවත්, මොවුන් පිටුපස සිටිමින් මෙම ජාවාරම් වලට සම්බන්ධ පිරිස් සම්බන්ධයෙන් පොලිස් බුද්ධි අංශ තේරතුරු රැසක් අනාවරණ කරගෙන ඇති බවත් පොලිසිය පවසනවා.

මෙම සැකකරැවන් සම්බන්ධයෙන් දිර්ඝ වශයෙන් සිදුකරනු ලැබු විමර්ශනයන්ට අනුව ඉදිරියේදී අවශ්‍ය නිතිමය ක්‍රියාමාර් ගන්නා බවද පොලිසිය කියා සිටියා.

ඊසි කෑෂ් ක්‍රමයට මුදල් හුවමාරු කරමින් හොරොයින් අලෙවිය, විවිධ ක්‍රමෝපායන් ඔස්සේ හෙරෝයින් හා ගංජා ප්‍රවාහනය ආදි කරුණු සම්බන්ධයෙන් මෙම සැකකරුවන් කෙරෙහි පොලිස් ඇස යොමු වී තිබෙනවා.

මාතලේ, දඹුල්ල හා කොළඹ වැනි ප්‍රදේශවල සිට මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන්නන් සම්බන්ධයෙන්ද මේ වනවිට අවධානය යොමුකර ඇති බවත් නාඋල ප්‍රදේශයේ ක්‍රියාත්මක මත්ජාවාරම් සම්බන්ධයෙන් අදහස් දැක්වූ නාඋල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක යු.පි.ජි.කේ. රත්නායක මහතා කියා සිටියේ.

Your Comments