කොළඹ ජාතික අක්ෂි රෝහලේ බලධාරීන් නිසි පරිදි සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකිරීම හේතුවෙන් කාර්ය මණ්ඩල සාමාජිකයන් දැඩි අරබුදයක

15

කොළඹ ජාතික අක්ෂි රෝහලේ කොරෝනා අවදානමක් තිබුණද එහි බලධාරීන් නිසි පරිදි සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු නොකිරීම හේතුවෙන් කාර්ය මණ්ඩල සාමාජිකයන් දැඩි අරබුදයකට මුහුණ දී සිටින බව වර්තාවනවා.

අක්ෂි රෝහලේ කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති අතර ආශ්‍රිතයන් 80ක් පමණ නිරෝධායනයට යොමු කෙරුනා.

මේ අතර රත්නපුර රෝහලේ වෛද්‍යවරු ඇතුළු 30 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති අතර සබරගමු පළාත් මහජන සෞඛ්‍ය අංශ පැවසුවේ රෝගීන් 40කට ද වෛරසය ආසාදනය වී ඇති බවයි.

කොවිඩ් ආසාදිත මෙරට ක්‍රිකට් ක්‍රීඩකයකුගෙන් හලාවත මහ රෝහලේ වෛද්‍යවරියකට කොරෝනා ආසාදනය වී ඇති අතර දෙදෙනාම බිංගිරිය කොවිඩ් ඒකකය වෙත ඇතුළු කළ බව හලාවත මහ රෝහලේ අධ්‍යක්ෂ කපිල මල්ලවආරච්චි මහතා පවසනවා.

ක්‍රීඩකයා විදෙස් සංචාරයකට යෑමට නියමිතව තිබීම හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකදී පී.සී.ආර්. පරීක්ෂණයකට මුහුණ දී ඇති අතර එහිදී ඔහු ආසාදිතයෙකු ලෙස හදුනාගෙන තිබුණා.

කෙසේ වෙතත් මෙම වෛද්‍යවරිය තමන් ආසාධිත බව සගවා ඇති බවටයි වාර්තා වන්නේ.
කොරෝනා ආසාදිත අට දෙනෙකුගෙන් යුත් පොකුරක් හමුවීමත් සමග රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය දින නියමයක් නැතිව වසා දමා තිබෙනවා.

බොරලැස්ගමුව නගර සභාවේ ආදායම් පරිපාලකවරයෙකුට වෛරසය ආසාධනය වීම හේතුවෙන් වරිපනම් අංශය තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව නගරාධිපති කේ.ඩී අරුණ ප්‍රියශාන්ත මහතා සඳහන් කළා.

නාවුල ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්ත ශාලාවකින් ආසාදිතයින් 27 දෙනෙකු හදුනාගැනීම හේතුවෙන් එය වසා දැමීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා පියවර ගෙන තිබෙනවා.

දකුණු පළාත් ආණ්ඩුකාර මෙහෙයුම් මධ්‍යස්ථානය සඳහන් කළේ අගුණුකොල පැලැස්ස බන්ධනාගාරයෙන් ආසාදිතයින් 14 දෙනෙකු වාර්තා වී ඇති බවයි.
කොග්ගල නිදහස් වෙළඳ කළාපයේ කොරෝනා ආසාදිතයින් 93 දෙනෙකු දින 9 කදී හදුනාගෙන ඇති බව හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළා.

නව ආසාදිතයින් 669 දෙනෙකු හදුනාගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 54 දහස් 419 දක්වා ඉහළ ගියා.
ආසාදිතයින් 46 දහස් 594 ක් සුවය ලබා ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 7 දහස් 552ක්.

මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 273 දක්වා ඉහළ ගියේ නව කොරෝනා මරණ 3 ක් වාර්තා වීමත් සමගයි.
අරනායක, කොළඹ 6, සහ මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවන් දෙදෙනෙක් මිය ගිය බවයි කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ.

Your Comments