කොවිඩ් ආසාදිතයෙක් බදුල්ල පොලිසිය අභියසටම ඇවිත්
පාලිත ආරියවංශ - බදුල්ල

16

කොළඹ මැනිං වෙළපොලේදී ආසාදනයට ලක්වූ බවට හඳුනාගත් එම වෙළද පොලේ සේවය කරන බදුල්ලේ පදිංචිකරුවෙක් ඊයේ  (19)  රාත්‍රී කහගොල්ල කොවිඩ් ප්‍රතිකාර ඒකකයට යොමු කර ඇති බව බදුල්ල මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රසාද් උපුල් කුමාර මහතා පවසනවා.

එසේම  මහනුවර සිට බදුල්ල දක්වා ඔහු ගමන් කල පුද්ගලික බස් රථයේ රියදුරා සහ  කොන්දොස්තරවරයාද  බදුල්ල සහ කැන්දගොල්ල පිහිටි සිය නිවෙස් තුළම  ස්වයං නිරෝධායනයට ලක්කළ බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

එම බසයේ ගමන්කළ මගීන් 15 දෙනෙකු හඳුනාගෙන ඇති බවත් ඔවුන්ද ස්වයං නිරෝධායනයට ලක්කරන බවත්  උපුල්කුමාර මහතා  වැඩිදුරටත් සඳහන් කර සිටියා.

බදුල්ල හිඳගොඩ,  උඩවත්ත පදිංචි  32 හැවිරිදි ආසාදිතයා කඳාන ප්‍රදේශයේදී   පී.සී.ආර්. පරීක්ෂණයකට ලක්ව දින කීපයකට පසු ඊයේ (19) දා බස් රථයකින් මහනුවරට පැමිණ එතැන් සිට  ප.ව. 4.30ට මහනුවරින් බදුල්ල බලා ධාවනය වූ පුද්ගලික බස්රථයකින්  බදුල්ල බලා ගමන් කරමින් සිටියදී පී.සී.ආර්. පරික්ෂණ වාර්තාවේ තොරුතුරු ලද බවත් ඒ අනුව ජංගම දුරකථනය ඔස්සේ ඔහු සම්බන්ධ කරගැනීමට උත්සාහ කළ බවත්  බදුල්ල මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක වේහිත දේශප්‍රිය මහතා කියා සිටියේ.

පසුව ඔහුගේ  දුරකථනය විසන්ධිවි තිබුණත්  බදුල්ල තානායම් වටරවුම අසලදී බසයෙන් බැස ඔහු බදුල්ල පොලිස් ස්ථානය  ඉදිරියට පැමිණ පොලිසිය ඇමතූ බවත් ඒ අනුව  මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාට දැනුම් දුන් බවත් දේශප්‍රිය මහතා වැඩිදුරටත් කියා සිටියා.

ආසාදිතයා පොලිසිය තුළට නොපැමිණි බවද ඔහු අවධාරණය කර සිටියා.

Your Comments