කොරෝනා වෛරස් ප්‍රභේදයේ වෙනසක් – ආක්‍රමණශීලීත්වය ඉහළට

268

කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවකට ද කොවිඞ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

විශ්ව විද්‍යාලයේ මාධ්‍ය අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය විජයානන්ද රුපසිංහ මහතා සඳහන් කළේ ඊයේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකට අනුව එය තහවුරු කර ගත් බවයි.

සමාජීය විද්‍යා පීඨයේ අධ්‍යාපනය හදාරන සිසුවියකට මෙලෙස කොවිඞ්-19 වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඇය මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන අතර ඇයගේ පියා මිනුවන්ගොඩ ඇගලුම් කර්මාන්ත ශාලාවේ සේවකයෙකු බවයි මහාචාර්ය විජයානන්ද රුපසිංහ මහතා කියා සිටියේ.

ඒ අනුව අදාළ සිසුවිය සමග නවාතැන් ගෙන සිටි තවත් සිසුවියන් දෙදෙනෙකු ද පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කර තිබෙනවා.

මේ අතර කොරෝනා වෛරස ආසාදිතයෙකු හඳුනාගැනුණු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉදිරි අධ්‍යයන කටයුතු සම්බන්ධයෙන් හෙට දිනයේ අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.

එමෙන්ම ජාතික සමාජ සංවර්ධන ආයතනයේ සමාජ වැඩ, උපාධි පාඨමාලා ඇතුළු සියළුම පාඨමාලාවල දේශන කල් දමා තිබෙනවා.

එහි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ දින නියමයක් නොමැතිව සියළුම දේශන ද කල් දමා ඇති බවයි.

හැටන් දිඹුල පතන ශ්‍රි පාද ජාතික විද්‍යා පිඨය අද දින සිට නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කර තිබෙනවා.

ඒ අනුව එම විද්‍යා පිඨයේ ගුරු පුහුණුව ලබමින් සිටි සිසු සිසුවියන් 582 දෙදෙනෙකුට නිවාඩු ලබාදී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.

මේ අතර අකුරැස්ස විල්පිට නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිත කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව 500 දෙනෙකුට පී.සී.ආර්. පරීක්‍ෂණ සිදු කිරීම ඇතුළු කටයුතු වෙනුවෙන් එම විද්‍යා පීඨය භාවිත කිරීමට නියමිතයි.

හදිසි අවස්ථාවකදී නිරෝධායන මධ්‍යස්ථනායක් ලෙස භාවිත කිරීම සඳහා වවුනියාව ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයද සූදානම් කිරීමේ කටයුතු අද ආරම්භ කෙරුණා.

ඒ අනුව එහි සිටි ගුරු පුහුණු සිසු සිසුවියන් පිරිස නිවෙස් වෙත පිටත් කර හැරීමට කටයුතු කළා.

එහි 250කට ආසන්න පිරිසකට නිරෝධානය විය හැකි බවයි යුද හමුදාව සඳහන් කළේ.

මේ අතර මන්නාරම ප්‍රදේශයේ පට්ටිටෝට්ටම් සහ පෙරියකඩෙයි යන ගම්මාන නැවත දැනුම් දෙනතුරු හුදකලා ගම්මාන ලෙස නම් කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ සිදු කරන පරීක්‍ෂණවලින් පැහැදිළි වූ කරුණු මත මේ වන විට අනාවරණ වී ඇත්තේ කොවිඩ් වසංගත වෛරස් ප්‍රභේදයේ වෙනසක් සිදු වී ඇති බවයි.

Your Comments