එන්නත මිලදී ගැනීම ගැන නීතිපති වැඩිදුර කරුණු ඉල්ලයි

12

ඉන්දියාවෙන් කොවිඩ් එන්නත් මිළදී ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් වැඩිදුර කරුණු පැහැදිලි කරන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දන්වා තිබෙනවා.

 

ඒ, එන්නත් ලබා ගැනීමේ නීතිමය අනුමැතිය සඳහා සෞඛය අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කෙරුණු ලිපි ලේඛන සලකා බැලීමෙන් අනතුරුවයි.

මේ අතර, හදිසි භාවිතය සඳහා අනුමත ඔක්ඩ්ෆර්ඩ් ඇස්ට්‍රාසේනිකා එන්නත ඉදිරි දින කිහිපයේ මෙරටට ලබාගැනීමට හැකිවනු ඇති බව ඖෂධ නිෂ්පාදන සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

කොවිඩ් 19 සඳහා එන්නතක් ලබාදෙන මෙරට පළමු අවස්ථාව මෙයයි.

ඔක්ඩ්ෆර්ඩ් ඇස්ට්‍රාසේනිකා එන්නත භාවිතය සඳහා අනුමැතිය ලබා දුන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින්.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව මගින් කොළඹ ජාතික රෝහල සඳහා රුපියල් මිලියන 12ක වෛද්‍ය උපකරණ පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමින් මහාචාර්ය චන්න ජයසුමන මහතා පෙන්වා දුන්නේ සියවසකට ආසන්න කාලයක සිට මෙරට ප්‍රතිශක්තිකරණ තත්වය ඉහළ අගයක පවතින බවයි.

එන්නත්කරණ වැඩපිලිවෙල සම්බන්ධයෙන් කරුණු දක්වමින් රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළේ ජනගහනයෙන් සියයට 55කට පමණ එය ලබා දීමට කටයුතු කරන බවයි.

 

Your Comments