ඉන්දියාවේ නිෂ්පාදිත කොවිඩ් මර්දන එන්නත සෙසු රටවල් වෙත අපනයනය අද ආරම්භ වේ

9

ඉන්දියාවේ නිෂ්පාදිත කොවිඩ් මර්දන එන්නත සෙසු රටවල් වෙත අපනයනය අද ආරම්භ වනවා.
ඒ අනුව මියන්මාරය – සීශෙල්ස් යන රටවලට අමතරව දකුණු ආසියාවට අයත් භූතානය, මාලදිවයින, බංග්ලාදේශය, නේපාලය වෙතද අද දිනයේදී එන්නත පිටත්කර හරින බවයි ඉන්දියාව නිවේදනය කළේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව, ඇෆ්ඝනිස්ථානය සහ මුරුසි රාජ්‍යය වෙතින් මේ දක්වා නිසි අනුමැතිය ලැබී නොමැති බවයි ඉන්දීය රජය සඳහන් කර ඇත්තේ.

කොවිඩ් වසංගතය ආරම්භයේ සිටම ඖෂධ, සායනික උපකරණ ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වෙනත් රටවලට ලබා දුන් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කල නිවේදනයක සඳහන්.

ගෝලීය අවශ්‍යතාවය අනුව කොවිඩ් මර්දන එන්නත් සැපයීමටද ප්‍රමුඛත්වය ලබා දෙන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

කෙසේ වෙතත් භාරත් බයෝටෙක් සමාගම විසින් නිෂ්පාදනය කළ කොවැක්ස් කොරෝනා මර්දන එන්නත ලබා ගැනීමට ප්‍රථම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අත්‍යාවශ්‍ය බව එම සමාගම ඊයේ නිවේදනය කළා.

දුර්වල ප්‍රතිශක්තිකරණයක් සහ ආසාත්මිකතාව, උණ හෝ රුධිර ගැලීම් වැනි වෙනත් රෝගවලින් පීඩාවිඳින පුද්ගලයින්, ඒ පිළිබදව දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවයි එම සමාගම පෙන්වා දෙන්නේ.

එන්නතෙහි සාර්ථකත්වය පිළිබඳ දත්ත ලැබීමට ප්‍රථම ව ඉන්දීය රජය විසින් භාරත් බයෝටෙක් සමාගම නිෂ්පාදනය කළ එන්නත ජනතාවට ලබාදීමට අවසරදීම හේතුවෙන් සමාගම මේ වනවිට දැඩි මතභේදයට ලක්ව තිබෙනවා.

Your Comments