නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය 12ක කාලය තුළ සුළි කුණාටුවක් දක්වාත් ඊළඟ පැය 12 තුළ චන්ඩ සුළි කුණාටුවක් දක්වාත් එය වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ හේතුවෙන් තද වැසි, තද සුළං සහ මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවට අනතරු ඇඟවීමේ නවතම රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා.
පීඩන අවපාතය මේ වන විට ලංකාවේ ත්‍රිකුණාමලය වෙරළට කි.මී 280ක දුරින් (10.0N, 83.3E) මුහුදු ප්‍රදේශයේ ස්ථානගතව පවතියි.
මෙම පද්ධතිය ඉදිරි පැය 48 තුළ දිවයිනේ උතුරු වෙරළ ආසන්නයෙන් ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
පුත්තලම සිට කොළඹ හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින්විට පැ.කි.මී 50-60 දක්වා ඉහළ යෑමට හැකියාවක් පවතින බවද එහි සදහන්.
Your Comments