අණ නොතකා ධාවනය කළ ජීප් රථයකට පොලිසියෙන් වෙඩි

22

පොලිස් අණ නොතකා ධාවනය කළ ජීප් රථයකට කිලිනොච්චිය, අරවියල් නගර් ප්‍රදේශයේදී අද(14) පෙරවරු 6.20ට පමණ පොලිසිය  වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ ගංජා තොගයක් ප්‍රවාහනය කරන බවට කිලිනොච්චිය කොට්ඨාස දූෂණ මර්ධන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා නිලධාරීන් කන්ඩායමක් පිටත්ව ගොස් ඇති බවයි.

එහිදී සැක සහිත ජීප් රථයක් නතර කිරීමට පොලිස් නිලධාරීන් සංඥා කර ඇති අතර එහිදී ජීප් රථය නොනවත්වා ධාවනය කිරීමට උත්සාහ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ.

එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් ජීප් රථයට වෙඩි තැබීමක් සිදු කර ඇති බවත් වෙඩි ප්‍රහාරයෙන් ජීප් රථයේ සිටි පුද්ගලයකුට වෙඩි වැදී සුළු තුවාල ලබා බවත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා. වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇති පුද්ගලයා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අදාළ ජීප් රථයේ කැබිතිගොල්ලෑව සුරාබදු ඒකකයේ නිලධාරීන් ගමන් කර ඇති බවත් වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ සුරාබදු ඒකකයට තොරතුරු සපයන්නෙකු බවත් පසුව අනාවරණ වූ බවයි පොලිසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.

 

Your Comments