හිතුවේ නැහැ මේ තරම් ප්‍රතිචාරයක් – ධනංජය චතුරංග

124

මේ දිනවල බොහෝ දෙනා උනන්දුවක් දක්වනවා තමන්ගේ ඩිජිටල් ඡායාරූපයක් නිර්මාණය කර ගන්න.

ඒ විදියට වැඩි ඉල්ලුමක් තියෙන මේ ඩිජිටල් ජයාරූපකරණයට එක වූ තරුණයෙක් තමයි ධනංජය චතුරංග කියන්නේ.

පසුගිය ලොක් ඩවුන් කාලය තුල තමයි ඔහු මේ ඩිජිටල් ජයාරූපකරණයට එක් වෙලා තිබ්බේ.

ඔබේ ඡායාරූපකරණයේදී වැඩි අවදානයක් දෙන්නේ මොන අංශයට ද
මම ඡායාරූපකරණය පටන් ගත්තේ විනෝදාංශයක් හැටියට. ඒ නිසා මුලින්ම ස්වභාව ධර්මයේ ජයාරූප.ඊට පස්සේ මම විවිධ ස්ථාන වල ඇවිදලා ඒ ඒ ස්ථාන ජයාරූපගත කළා. මොකද සංචාරයත් මගේ තව විනෝදාංශයක් නිසා. ආර්ට් ෆොටෝ ග්‍රැෆි කළා. මොකද මම ජයාරූපකරණය ඇත්තටම අධ්‍යනය කළා ජාතික ඡායාරූපකරණ කලා සංගමයේ තුන් අවුරුදු ඩිප්ලෝමාව ඉවර කරලා ඉන්නේ ප්‍රථිපල අපේක්ෂාවෙන්. ඒ තුලින් මම කලාත්මක ජයාරූප ගැන ඉගෙන ගත්ත නිසා ප්‍රදර්ශන වලට පවා මම ජයාරූප ඉදිරිපත් කරලා තියෙනවා. ඒ එක්කම දැන් අවුරුද්දකට කලින් මම ඉවෙන්ට් ෆොටෝ ග්‍රැෆි වලටත් යොමු වුණා. ඇත්තටම කලාවට කලාකරුවන්ට මම ගොඩක් ලැදී. ඒ නිසා මගේ යාලුවෙක් මාව සම්මාන උළෙලකට පවා එක්ක ගෙන ගියා. ඒ නිසා දැන් ඒ පැත්තටත් වැඩි නැඹුරුවක් තියෙනවා.

මේ ඩිජිටල් ඡායාරූප නිර්මාණය කරන්න පටන් ගත්තේ කාගෙන් ද?
මම කැමතියි කලාකරුවන්ට ඒ නිසා මුලින්ම පටන් ගත්තේ ගාමිණී ෆොන්සේකා මහතාගේ අන්තර්ජාලයේ තිබ්බ පින්තූරයක්. විශේෂයෙන් ජිවතුන් අතර නැති සහ කලාව තුල යම් සලකුණක් තැබූ සුවිශේෂී චරිත තමා මම ඩිජිටල් ඡායාරූප විදියට ප්‍රති නිර්මාණය කළේ.

ජිවතුන් අතර ඉන්න අයගෙන් ලැබෙන ප්‍රතිචාර මොනවද?
ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. විශේෂයෙන්ම මම කලාකරුවන්ගේ උපන්දින වලට මම සුබපතුම් එකතු කරන්නේ මගේ මේ ඩිජිටල් ඡායාරූප තුලින්. මෑතක මම කළ විජය කුමාරණතුංග මහතාගේ ඡායාරූපයට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සුබ පතලා තිබ්බා.

එක ඩිජිටල් ඡායාරූපයක් කරන්න කොච්චර කාලයක් යනවද?
අඩුවෙන්ම නම් පැය තුනක් වගේ කාලයක්. වැඩියෙන්ම ගත්තොත් පැය හත අටක් යනවා.

ඡායාරූපයක් ඩිජිටල් ඡායාරූපයක් බවට පත් කරද්දී තියෙන අභියෝග මොනවද?
අභියෝග කියන්නේ. ඡායාරූපයේ වටිනාකමට හානි නොවන විදියට ඩිජිටල් ජයාරූපය නිර්මාණය කිරීම තමා අපි කළ යුත්තේ. බොහෝ විට අපි යොදන පසුබිම ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒවගේම ඒ කෙනාගේ හමේ වර්ණය සහ කොණ්ඩය ගැන වගේම ඇඳන් ඉන්න ඇඳුම ගැන පවා අපි හිතන්න ඕනේ. මොකද අපි ෆොටෝෂොප් මෘදුකාංගයේ බ්‍රෂ් අපි පාවිච්චි කරනවා. සමහර විට එක නිර්මාණයකට බ්‍රෂ් වර්ග කිහිපයක් භාවිතා කරන්න වෙනවා. ඒක
ඡායාරූපයෙන් ජයාරූපයට වෙනස්.

කොහොමද ලැබෙන ප්‍රතිචාර
මුහුණු පොතේ ඉන්න බොහෝ දෙනා මගේ නිර්මාණ අගයනවා. ඒ ගැන සතුටුයි. ඒ එකක්ම මේ වෙලාවේ විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ ප්‍රවීන ජායාරූප ශිල්පී සහ ගායක දයාන් විතාරණ මහතාව. එතුමා මගේ නිර්මාණ මුල සිටම අගය කිරීමක් කළා. පුද්ගලිකව පවා මට කතා කරලා හදාගතයුතු අඩු පාඩු ගැන නිරන්තරයෙන් දැනුවත් කළා. ඉතින් මට ඒ ලැබුණු මග පෙන්වීම ලොකු ආශීර්වාදයක් වුණා.

 

Your Comments