වායු රයිෆලයෙන් සිසුවාට වෙඩි තැබූ වෛද්‍යවරයා වාහනේට අලාබ කල බව කියා බොරු පැමිණිල්ලක් දාලා

20

ඇරැව්වල ධර්මපාල විදුහලේ ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කරමින් සිටි 17 හැවිරිදි පාසල් සිසුවෙකුගේ පපුවට වෛද්‍යවරයෙකු වායු රයිෆලයකින් වෙඩි තබන ලද සිදුවීමක් පසුගිය ඉරිදා වාර්තා වුනා.

සිද්ධියෙන් තුවාල ලැබූ සිසුවා කළුබෝවිල ශික්‍ෂණ රෝහලේ තවමත් ප්‍රතිකාර ලබමින් සිටිනවා.

විද්‍යාලයේ ක්‍රීඩා පිටියට යාබදව වෛද්‍යවරයාගේ නිවස පිහිටා ඇති අතර මිතුරන් සමග ක්‍රීඩා කරමින් සිටි එම සිසුවා, පන්දුවක් වෛද්‍යවරයාගේ වත්තට වැටුණ පසු එය අහුලා ගැනීමට තාප්පයෙන් පැන ඇති බව සදහන් කරනවා.

එම අවස්ථාවේදී ඔහු නිවැසියන්ගේ අවසරය ඉල්ලූ බව ද පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා .

එවිට මෙම වෛද්‍යවරයා කේන්තියෙන් නිවස වෙත දිවගොස් වායු රයිෆලයක් ගෙනවිත් සිසුවාගේ පපුවට වෙඩි තබා තිබෙනවා.

වෙඩි වැදී තුවාල ලද සිසුවාව මිතුරන් හා අසල්වැසියන් එක්ව රෝහල් ගත කිරීමට කටයුතු කර තිබිණි.

වෛද්‍යවරයා පොලිසියට ගොස් ව්‍යාජ පැමිණිල්ලක් සිදු කර දන්වා ඇත්තේ තම නිවසේ වාහන වලට අලාබ කරීමට මෙම සිසුවා කටයුතු කළ නිසා වෙඩි තැබූ බවයි.

නමුත් සිදුව ඇත්තේ එවැන්නක් නොවන බව සාක්ෂි කරුවන් වෙතින් පොලිසිය තහවුරු කරගත් බව සදහන් කරනවා.

සිද්ධිය සම්බන්ධ විමර්ශන වලින් පසු අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 2 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කෙරුණා.

Your Comments