ලාංකික සුපවේදයෙන් කිරුළු පළන් ජෝර්ජියා

31

‘Junior Masterchef Australia 2020’ හි කිරුළ හිමිකර ගැනීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ජෝර්ජියා නමැති 11 හැවිරිදි දැරියක් සමත්ව තිබෙනවා.

සෙසු තරගකරුවන් අභිබවා ජයග්‍රාහකයාට හිමි ඔස්ට්‍රේලියානු ඩොලර් 25,000ක් මුදල් ත්‍යාගය ද දිනා ගැනීමට ජෝර්ජියා සමත්ව තිබෙනවා.

ඔස්ට්‍රේලියානු රූපවාහිනී නාලිකාවක් වන Network 10 හි අද (9) එම වැඩසටහනෙහි අවසන් මහා තරගය විකාශය වූවා.

‘Junior Masterchef Australia 2020’ අවසන් වටය නියෝජනය කරමින් ජෝර්ජියා ඇතුළුව තරගකරුවන් තිදෙනෙක් සහභාගී වී ඇති අතර ඔවුන්ට පැවරුණු අභියෝගය වූයේ තරග වට දෙකකදී ප්‍රධාන ආහාර වේලක් සහ අතුරු පසක් සෑදීමයි.

සාඩම්බරකාර ශ්‍රී ලංකික උරුමයේ හිමිකාරියක වන ජෝර්ජියා සිය ප්‍රධාන ආහාර වේල සඳහා ශ්‍රී ලංකික ආහාර වේලක් වන ඌරු මස් ව්‍යාංජනයක්, කජු ව්‍යාංජනයක්, වම්බටු ව්‍යාංජනයක්, පපඩම්, පිපිඤ්ඤා රයිතා සහ කහ බතක් සකස් කර තිබෙනවා.

එමෙන් ම, toasted coconut ice cream, brown bread crumb, Davidson plum pearls, Davidson plum meringues සහ lemongrass granita එකතුවෙන් අතුරුපසක් ද ඇය සකස් කර තිබෙනවා.

‘Tropical Mess’ ලෙසින් ඇය එම අතුරුපස නම් කර තිබූ බවයි වාර්තා වන්නේ.

මෙම වැඩසටහනේ මීට පෙර අවස්ථාවකදී තමන්ට ඉවුම් පිහුම් කටයුතු කියා දීම සම්බන්ධයෙන් ජෝර්ජියා තම අත්තම්මාට ප්‍රශංසා කර තිබුණේ මෙලෙසින්.

“මම මගේ ආච්චිට සහ සීයාට ගොඩක් කිට්ටුයි. මගේ ආච්චි සහ සීයා ශ්‍රී ලාංකිකයින්. මගේ ආච්චි මට ලංකාවේ කෑම වර්ග ගොඩක් හදන්න කියලා දීලා තියෙනවා.”  

 

 

 

Your Comments