පියා ගැන සමනලී මුහුණු පොතේ තැබූ සටහන

56

පසුගිය 16වනදා සමනලී ෆොන්සේකාගේ ආදරණිය පියාණන් වන ආනන්ද ෆොන්සේකා මහතා සිය ජිවන ගමනට සමු දුන් පුවත ඔබ දන්නවනේ.

මේ අපි ඔබට සමීප කරන්නේ සමනලී සිය පියා ගැන මුහුණු පොතට එක් කළ දීර්ඝ සටහන පහතින්

“ඒක මහ විසාල දුකක්. මුලින්ම ඒක තිබ්බෙ මගෙ පපුව ඇතුලෙ. හරියට හෙමින් හෙමින් ලොකුවෙන බැලුම් බෝලයක් වගේ. මගේ පෙනහලු වලට පිම්බෙන්න ඇකිලෙන්න ඉඩක් නොදී, ඒ බැලුම එන්න එන්න විසාල වුනා. මම හුස්ම ගත්තෙ අමාරුවෙන්. ඒත් එයාගෙ මරණෙ, ගෙදරට ගෙනාව දවසෙ ඒ බැලුම පිපිරිලා ගියා. මම එයාගෙ එම්බාම් කරපු රූපෙ දිහා බැලුවෙවත් නැහැ. එයා එතන නැහැ කියලා මම දන්නවා. දැන් සතියකුත් පැන්නා. අර පුපුරපු බැලුම් බෝලෙ පුපුරලා නැහැ. ඇත්තටම දැන් ඒක තියෙන්නෙ මගෙ පපුව ඇතුලෙ නෙමෙයි. මම ඉන්නෙ ඒක ඇතුලෙ. ඒකෙ බිත්ති හයියයි. මට එලියට එන්න බැහැ. මම ඒක ඇතුලෙ හිර වෙලා. මම හිතන්නැහැ ආයිත් කවදාවත්ම මට ඒක ඇතුලෙන් එලියට එන්න පුලුවන් වෙයි කියලා.

මළගෙදර පුරාවටම එයා එතන නැහැ කියලා මට හිතුනට, දැන් එයා මේ හැම තැනම… මගේ ලෝකෙම වහගත්ත ඒ හෙවනැල්ල, මම කැමති සහ අකමැති සියල්ල තීරණය කරපු ඒ හෙවනැල්ල දැන් මට පේන්නම හැම තැනම. මගේ පොත් රාක්කෙ තියෙන සාර භූමි පොතේ වංලුං දකිද්දි, ලස්සන වසිලීස්සා, කර්මසෝ සහෝදරයො, ඊවාලූනා දකිද්දි, රසම රස අඹ ගෙඩි දකිද්දි, ඇත්තම ඇත්ත ළා පාටට දියවෙන කිතුල් හකුරු කෑල්ලක් දකිද්දි, මස් කටු අස්සෙ තියෙන මැරෝබෝන් කද්දි, පරා මාළු ඔලු හදද්දි, තලපත් මාළුවල තෙල් හොයද්දි, හැම විහිළු කතාවක්ම ඇහෙද්දි, එක එක්කෙනාගෙ වෙඩිං ෆොටෝ දකිද්දි, වෙඩිං වීඩියෝ වලට දාන සිංදු ඇහෙද්දි, ඉතුරු සල්ලි එකතු කරන කැටේ දකිද්දි, මීනා කුමාරිගෙ පකීසා ෆිල්ම් එකේ සිංදු බලද්දි, පිටකොටුවේ රතු මුස්ලිම් පල්ලිය ලඟ වලේ කඩේ දකිද්දි, බොම්බෙ ස්වීට් කඩ දකිද්දි, කරෝල කඩ දකිද්දි, හිච්කොක්ගෙ ෆිල්ම් බලද්දි, ඕනෙම ජාතියක හොල්මන් ෆිල්ම් බලද්දි, සුබ්රමනියම්ගේ දෙමළ සිංදු අහද්දි, ඉලෙයිරාජාගෙ මියුසික් අහද්දි, පරණ ෆොටෝක්රෝම් බිල්ඩින් එක දකිද්දි… මේ හැම තැනකම, හැම දේකම එයා ඉන්නවා.
අපේ පරණ පුංචි කුලී ගෙදර දවල්ට රත්වෙච්ච ටකරන් වහලෙන් එන රස්නෙට රෑට නින්ද යන්නෙ නැති වෙනකොට, අත කැඩෙනකන් මට පවන් ගැහුවෙ එයා… පාරෙ ටැප් එකෙන් මාව නාවන ගමන් පිරිසිදු කම ගැන මට කියලා දුන්නෙ එයා… නිල්පාට හොන්ඩා 200 බයික් එකේ ටැංකිය උඩ යන ගමන් ජීවිතේ ගැන, සමාජය ගැන, මිනිස්සු ගැන මට කියලා දුන්නෙ එයා… ගෙදර කුණු කෑල්ලක් නොතියන්න ගෙවල් අස් කරන්න මට කියලා දුන්නෙ එයා… කලාව ගැන, රසවින්දනය ගැන මට මුලින්ම කියලා දුන්නෙ එයා… පොත් කියවන්න වගේම ඒ පොත්වලින් ගෙවල් වටේ ඉන්න පුංචි ළමයින්ට පොඩි පුස්තකාලයක් දාන්න මාව උනන්දු කළේ එයා… දේශපාලන වැඩසටහන් බල බල මාත් එක්ක තර්ක කර කර රණ්ඩු කළේ එයා.. මම ආදරේ කරපු කිසිම කොල්ලෙක්ට කැමති වෙන්නැතුව මාත් එක්ක මරාගත්තෙ එයා… ලෑලි ගෙදරක කුලියට හිටපු අපිට හීනෙන් විතරක් ඉන්න පුලුවන් වෙයි කියලා හිතපු අපේම කියලා ලොකු ගෙයක් හදලා ඉවර කරන එක එයා එයාගෙ මුලු ජීවිතේම කරගත්තා. එයා චිත්රපටි අධ්යක්ෂක වරයෙක් වෙන්න කොච්චර ආස වුනත්, එයා ඒකට කොච්චර දක්ෂ වුනත්, හදපු එකම ෆිල්ම් එකටයි එකම ටෙලි නාට්ටියටයි කොච්චර සම්මාන ලැබුණත්. දිගටම ඒක කරන්න ගියොත් එයාට අපිවත් අපිට එයාවත් නැතිවෙයි කියලා එයා බය වුනා.
මම වැඩිපුරම කළේ එයාට විරුද්ධව ගිය දේවල්. ඒත් ඇත්තටම, ඒ විරෝධය කියන්නෙත් අන්තිමට එයාම තමයි… මම දන්නවා එයාට ඕන කරපු ජීවිතය මම තෝරා නොගත්ත හින්දාම එයා මං ගැන සැනසීමකින් හිටියෙ නැහැ කියලා. ඒත් එයා දැනගෙන හිටියා මම මගේ ජීවිතේ එයාට විරුද්ධව කොයිතරම් තීරණ ගත්තත්, ඒ ගන්න හැම තීරණයකම වගකීම එයාටවත් වෙන කාටවත් කරදරයක් නොකර තනියමම දරාගන්නවා කියලා. එයා අකමැති වුනත් මගේ සතුට තියෙන්නෙ මගේ නිදහස, මගේ ස්වාධීනත්වය ඇතුලෙ කියන එක ගැන එයා දැනගෙන හිටියා. මට එයා තරම්වත් භෞතික දෙයක් එකතු කරගන්න බැරිවුණ එක ගැන එයා හුඟක් දුක් වුනත්, තමන් විශ්වාස කරන දේවල් පාවා නොදී ඉන්න උත්සාහා කරමින් මම මේ යමින් ඉන්න පුංචි ගමන ගැන එයා ඇත්තටම ආඩම්බර වුනා කියලා මම දන්නවා. එයයි අපෙ අම්මයි එකතුවෙලා අමාරුවෙන් ගොඩනගපු ඒ ජීවිතේ තිබුන කටුක ගමන මමයි අයියලා දෙන්නයිත් අත් විඳිනවට එයා කැමති වුනේ නැතත්, මම සම්බන්ධතාවයක් සහ ආදරයක් කියලා විශ්වාස කළේ ඒ විදිහටම දේවල් අමාරුවෙන් ගොඩනගන එක කියලා එයා දන්නවා. ඒ නිසාම කුලී ගෙදරක ඉඳගෙනත් මමයි චාපියි ආදරෙන් ඉන්න එක ගැන එයා හුඟාක් සතුටු වුනා. කවදාවත් බැංකු ණයක්, ක්රෙඩිට් කාර්ඩ් එකක් තියා කාගෙන්වත් පොලියට සතයක් නොගත්ත එයා මට පුරුදු කළා කිසිම කෙනෙක්ට ණය නොවී ජීවත් වෙන හැටි.
සෙරප්පු දෙක දාන්න බිම බලන හැම වෙලේම මගේ හතරැස් පෙට්ටි ඇඟිලි දකිද්දි මට පේන්නෙ එයාගෙ කකුල්, හැමදාම කණ්නාඩියෙන් මගෙ මූණ දිහා බලද්දි මගේ ලොකු නහය, බරි තොල්, ඝන ඇහි බැඹ… මේ හැම දෙයක් පුරාම වැටෙන්නෙ එයාගෙ සේයාව… රීල් දාන කැමරාවෙන් චූටි කාලෙ මාව කැමරා රාමුවට පුරුදු කරපු එයා, මේ ලෝකෙ ඕනම දියුණු කැමරාවක් ඉස්සරහට මම යන හැම මොහොතකම එතන ඉන්නවා කියලා මම දන්නවා.
මීට අවුරුදු 6කට විතර කලින් මම මේ ඔක්කොම පිටු ගානක ලියුමක ලියලා එයාට දුන්නා. ඒක නිසා මේවා එයාට කියාගන්න බැරි වුනා කියලා මගෙ හිතේ කිසිම පසුතැවීමක් නැහැ. මගේ අම්මා අද මට කිව්වා එයා තාත්තාගෙ දේවල් අස් කරද්දි ඒ ලියුම අම්මට හම්බ වුනා කියලා. ඒ ලියුමත් එක්කම මම තාත්තා ගැන කියපු ‘අනිද්දා’ පත්තරේට තරිඳු කරපු ආර්ටිකල් එකත් අම්මට හම්බවෙලා. එයා ඒකත් හංගගෙන තියාගෙන ඉඳලා. එයාගෙ ආදරේ එහෙමයි.
චූටිම කාලෙ මම හිටියෙ එයාගෙ කර උඩ, ටිකක් ලොකුවෙද්දි මම නිදාගත්තෙ එයාගෙ බඩ උඩ, ඕලෙවල් කරනකොටත් එයාගෙ උඩොක්කුවෙ වාඩි වෙනවා මම. ඒ ඔක්කොටමත් වඩා ජීවිතකාලෙම එයාගෙ මහා විසාල හිතපුරාම මාව දරාගෙන හිටියෙ එයා විතරයි. එයාගෙ ආසාව, ශ්රමය, කැපවීම, රූපය, විශ්වාස, හැකියාව… මේ හැමදේකම සාරය එයා දිය කළේ එයාගෙ පුංචි දරු පවුල පෝෂණය කරන්න. ඒ හිනාව, ඒ බැණුම්, ඒ ආදරේ, ඒ නපුරුකම්… ඒ ඔක්කොම මගේ ඇතුලෙ මේ මොහොතෙත් තියෙනවා… මගෙ රත්තරං තාත්තා… මගෙ මැණික… එයා කොහෙ යන්නද? හැමදාම මම එයාව බදාගන්නකොට මට දැනෙනවා වගේ, එයා හැමදාම මෙහෙම්මම මගේ ළඟ ඉන්නවා… එයාට කොහෙවත්ම යන්න බැහැ… මම යන්න දෙන්නෙත් නැහැ…!”

 

 

 

Your Comments